Sunday, September 21, 2008

‛අබා’ සහ ඉතිහාස හබක

Print this post


රාවය | 2008 සැප්තැම්බර් 21
......................................................................................................................................

මේ දිනවල දකුණේ ජනප්‍රිය ‛සමාජ සංවාද’වල හරි මැද අතීතයෙන් කැඳවාගත් අවතාරයක් ගැවසෙයි. ඉතිහාස අවතාර සමග සහවාසයට කොයි-කවුරුත් ඇබ්බැහි වූ යුගයක අලුත් අවතාරයක් විසින් අලුත් සංත්‍රාසයක් නොගෙනෙයි. නමුත් දකුණේ ‛ඉතිහාස රසික කැළ’ හා එක්ව තමන් කැඳ වූ යකැදුරා පසුපස පන්නන්නට පටන්ගෙන ඇති මේ ඉතිහාස අවතාරයෙහි විශේෂත්වයක් තිබේ. අවතාරය පණ්ඩුකාභයගේ ය. ‛මහා සිංහලයේ වංශ කතාව’ සිංහලයින්ට පහදා දෙන්නට සතියක් පාසා ගල් කණු අතර රස්තියාදු වූ ජැක්සන් ඇන්තනී පසුපස දැන් ඒ මහා සිංහල වංශික සේනා හඹා යනු පෙනේ. ‛පණ්ඩුකාභය අවජාතකයෙකු කළ ජැක්සන්ගේ පල්ලි කුමන්ත්‍රණය පැරදවීමේ’ ශුද්ධ යුද්ධය අගනුවර තාප්ප පුරා ඇවිල යන්නේ ඒ අනුව ය. අබා’ගේ දොරමඩලාව දැන් ජැක්සන්ගේ ගොල්ගොතාව බවට පත්වන හැඩකි.
  
මම ‛අබා’ නොබැලීමි. නමුත් ‛අබා’ මුල්කොටගත් ‛සජීවී සංවාදය’ ඕනෑකමින් කියවමි. ‛අබා’ වර්තමානයට කැඳවාගැනීමේ ජැක්සන් ඇන්තනීගේ තීරණය ‛පරිකල්පනයේ සහ කලා භාවිතයේ නිදහස’ පිළිබඳ වපසරිය තුළ අහම්බෙන් ගත් අහිංසක තීරණයකැයි කල්පනා කරන්නට මට නොහැක්කේ එබැවිනි. වර්තමාන දේශපාලන මොහොත සහ ‛අබා’ අතර සම්පාත වීම අහම්බයකැයි මම නොසිතමි. එය ජැක්සන් ගණන් බලා ගත් දැනුවත් දේශපාලන තීරණයක් බව නිසැක ය. දැන් පිටුපසට පත්තු වී ඇත්තේ ඒ තීරණයයි.


විචාර බුද්ධිය ඇති සමාජයකට ඉතිහාසය යනු සමාජ විද්‍යාවකි. අවශේෂ සමාජ විද්‍යාඥයෙකුට නැති අධිකාර බලයක් ඉතිහාසඥයෙකුට නැත්තේ ඒ හෙයිනි. ඉතිහාසඥයා කරන්නේ අතීතය සහ වර්තමානය අතර නොනිමි සංවාදය නඩත්තු කිරීමයි. එහි වැඩ අවසන් කළ ව්‍යාපෘති නැත. පැරණි ප්‍රශ්නයකට අලුතින් පිළිතුරු සෙවීමත්, පැරණි පිළිතුරක් අලුතින් ප්‍රශ්න කිරීමත් ඉතිහාසඥයාගේ අයිතියකි. අතීතය පිළිබඳ පරස්පර අර්ථකථනයන්ට නිදහස ඇත්තේ ඒ නිසාය. දුරාතීතය සහ වර්තමානය අතර නොදන්නාකමේ කලාපය පිරවෙන්නේ ඉතිහාසඥයාගේ අර්ථකථන වලිනි. ඒ අර්ථකථන ඉතිහාසඥයාට සාපේක්‍ෂ වේ. එහෙයින් ඉතිහාසඥයාගේ සීමාවන් අර්ථකථනයන්ගේ සීමාවන් බවට පෙරළේ. ඒවා වෙනත් අර්ථකථන මගින් ප්‍රශ්න කිරීමට විවෘතව ඇත්තේ එබැවිනි. අතීතය සහ වර්තමානය අතර නොනිමි සංවාදය යනු මෙයයි. සංවාදය ඇණහිටි ඇසිල්ලේ ඉතිහාසයද ඇණ හිටියි. විද්‍යාවේ තැන ඇදහිල්ලට අයිති වන්නේ එතැනදී ය. ඇදහිල්ලට විචාර බුද්ධියක් අවශ්‍ය නොවේ. පිළිම හා සුරුවම් ඊට සෑහේ. අතීතය පිළිම ගෙයක් බවට පෙරළා ගත් විට එය ඉතිහාසඥයින්ගෙන් ඇදහිලිවන්තයින් අතට මාරු වේ. ‛මිසදිටු දඩයම’ ඇරඹෙන්නේ එතැනිනි.
  
ජැක්සන්ගේ මහා වංශ පැදුරු සාජ්ජය සෑහෙන කාලයක් තිස්සේ අභිරුචියෙන් පෝෂණය කරන ලද්දේ මේ ඉතිහාස ඇදහිල්ලයි. බැලූ බැල්මට සංවාදයක් සේ වෙස්වළාගත් මේ ඇදහිල්ල ලංකාවේ දුරාතීතය පිළිම ගෙයක් බවට පෙරළීමට ඕනෑකර තිබූ ‛විද්‍යුත් ටීකාව’ක් උද්‍යෝගයෙන් සම්පාදනය කළේය. ජීවිතයේ හතර මායිම වර්ගවාදයෙන් සහ පරිභෝජනවාදයෙන් සළකුණු වූ සමාජයකට අතීතය යනු දෛනික කාංසාවෙන් මිදෙනු වස් ඉඳ හිට ආ ගිය හැකි සතුටු උයනකි. ලංකාවේ නූතන ‛ඉතිහාසඥයා’ වනාහී මේ සතුටු උයනේ වල් පැල ගළවන වෘත්තීය උයන් පල්ලෙකි. ඒ වර්ගයේ උයන්පල්ලන් පිරිවරා ගත් ජැක්සන් ඇන්තනී ඉතිහාස උයනින්  ‛අසිංහල වල් පැලෑටි’ ගැළවීමේ නිරාමිස ප්‍රීතිය දිගු කලක් භුක්ති වින්දේය. දේශපාලනිකව සළකතොත් ‛අබා’ වනාහී ඒ ප්‍රීතියේ අඛණ්ඩ දිගුවයි.
  
බැලූ බැල්මට ‛අබා’ගේ සන්දර්භය කලාව ය. නමුත් මා සිතන ආකාරයට නම් මේ මොහොතේ ‛අබා’ කැඳවාගෙන ඒමට ජැක්සන් ගත් තීරණයේ සන්දර්භය දේශපාලනයයි. ‛අබා’ මුල්කොටගෙන මතුවන ජැක්සන් දඩයම් කිරීමේ ශුද්ධ යුද්ධය නෑකම් කියන්නේ ඒ දේශපාලනයට ය. ‛අබා’ මුල්කොටගත් ‛වියරු සංවාදය’ කලාව තුළට ගාල් කළ නොහැකි තරමට දේශපාලනික වී ඇත්තේ ඒ හෙයිනි. මා නොබැලූ නමුදු, දකුණේ සිංහල බෞද්ධයින්ට ‛අබා’ මේ මොහොතේ සන්සුන්ව විඳිය හැකි කලා කෘතියක් සේ හැඟී යාමට ඉඩ තිබේ. නමුත් ලංකාව නිජබිම කරගත් අන්‍ය ජාතිකයින්ට සහ අන්‍යාගමිකයින්ට ‛අබා’ යනු මේ මොහොතේ දේශපාලනයකි. එය නරඹා තේරුම්ගන්නට ඉඩක් ලදොත් සිනමා ශාලාවෙන් පිටත රැළි ගසන අධිපතිවාදී දේශපාලන උමතුවෙන් වෙන්කොට එය විඳ ගන්නට ඔවුන් බොහෝ දෙනෙකුට නොහැකි වනු ඇත්තේ ඒ නිසාවෙනි. මහා සිංහලයේ දඩයම්කාර සේනාවන් විසින් ලුහුබඳිනු ලැබ ඇති කතෝලිකයෙකු වූ ජැක්සන්ගේ ඉරණමින්ම සනාථ කෙරෙන ඇත්ත එයයි.
  
‛අබා’ තමාගේ දේශපාලනය විදහන කලා කෘතියක් සේ පිළිගැනෙණු ඇතැයි ඇතැම්විට ජැක්සන්ද කල්පනා කළා විය හැක. නමුත් දැන් එය ජැක්සන්ගේ කලාව විනිශ්චය කෙරෙන දේශපාලන සන්දර්භය බවට පෙරළී තිබේ.

‛‛ජනතාව ඉතිහාසය තුළ කොටු වී සිටින අතර ඉතිහාසය ඔවුන් තුළ කොටුව ඇතැ’’යි ඇෆ්‍රෝ-ඇමරිකානු ලේඛක ජේම්ස් බෝල්ඩ්වින් සිය Notes of a Native Son කෘතියේ ලියයි. ‛අබා’ කේන්ද්‍ර කරගෙන පැතිර යන ඉතිහාස සන්නිය විසින් පෙන්නුම් කරන්නේත් ඒ යථාර්ථයයි. ඉතිහාසය අපේ වර්තමානය කොටු කරගත් හබකක් බවට පෙරළී තිබේ. අපි හබකක් බවට පෙරළී ඉතිහාසය කොටුකර ගෙන සිටිමු. හරියටම ‛අබා’ කොටු කරගනු වස් ඉතිහාසයට  ඇට වූ උගුල ජැක්සන් ඇන්තනීටම හබකක් බවට පත්ව ඇති පරිද්දෙනි.



2008 සැප්තැම්බර්

Print this post

0 comments:

Post a Comment