Sunday, September 14, 2008

මුගුර අතට දී ඔළුව මුගුරට පෑම

Print this post


රාවය | 2008 සැප්තැම්බර් 14
.......................................................................................................................................

මාසයක් තිස්සේ ආණ්ඩුවේ මර්දනකාරී කෙණෙහිලිකම්වලින් තුවාල ලත් ජනතා විමුක්ති පෙරමුණ, සැප්තැම්බර් 09 වෙනිදා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීමේ බැනර් පෙරටු කොටගත් හදිසි නීතිය දීර්ඝ කිරීමේ පෙරහැරේ යළිත් උද්දාමයෙන් ගමන් කළේය. සිය සාමාජිකයන්ට සහ පාක්‍ෂිකයන්ට එරෙහිව උත්සන්න කෙරෙන පහරදීම්, වෙඩි තැබීම් හා පැහැර ගැනීම් මධ්‍යයේ පවා හදිසි නීතියට පක්‍ෂව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටීමට සමත්වීමේ ‛පිළිවෙත් ගරුක’ සාඩම්බරය දැන් ජවිපෙ මාසිකව පළඳින වික්‍රමාන්විත පදක්කමකි. ඒ අනුව අන්තර් විශ්ව විද්‍යාල භික්‍ෂු සහ ශිෂ්‍ය බලමණ්ඩලයන්ගේද, රැකියා විරහිත උපාධිධාරීන්ගේද, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේද මීළඟ වීදි සටන් සතියට සියල්ල ලක ලෑස්තිව තිබේ. කුළු-පොළු හමුදාවන්ට බලයද, වීදි සටන්කරුවන්ට ජවයද එකවර සම්පාදනය කිරීමේ ‛විප්ලවීය සමානාත්මතා පිළිවෙත’ දැන් තවත් අඩියකින් පෙරට ය.

අගෝස්තු 31 වෙනිදා ‛රිවිර’ පත්‍රය සමග සාකච්ඡාවකට එක් වෙමින්, ‛‛ජීවත්වීම පිළිබඳ බරපතල ගැටුමක පැටලී සිටින වැඩකරන ජනතාවට සාධාරණ වැටුපක් ලබාගැනීමට අරගලයක් කිරීමට අපිට අවශ්‍යව තිබෙනවා.....ඒ නිසා වැටුප් හා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන්.....සැප්තැම්බර් මුලදි අපි නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පටන් ගන්නවා’’යි කියා තිබූ ජවිපෙ වෘත්තීය සමිති නායක කේ.ඩී.ලාල්කාන්ත, 09 වෙනිදා හිදිසි නීති විවාදයේදී නැගී සිට මෙසේ කීවේය: ‛‛රජය හදිසි නීතිය දීර්ඝ කිරීමට සහාය ඉල්ලා සිටින්නේ යුදමය වැඩ පිළිවෙල දිගටම ක්‍රියාත්මක කරවීමටයි....ජනතා විමුක්ති පෙරමුණ මෙවරත් හදිසි නීතියට සහාය දෙනවා. නමුත් රජයට වගකීමක් තිබෙනවා හදිසි නීතියට අප ලබාදෙන සහාය වෙනත් කරුණු සඳහා භාවිතා නොකරන්නට.’’ (දිනමිණ - 2008 සැප්තැම්බර් 10) ජවිපෙ ධජ පතාක පෙරටු කොටගත් වැඩ කරන ජනයා සාධාරණ වැටුපක් වෙනුවෙන්, සැප්තැම්බරයේ දියත් කරන්නට නියමිත ‛‛වෙනත් කරුණු’’ හමුවේ මේ හදිසි නීති බලයම යොදා නොගැනීමට දැන් ආණ්ඩුවට සිදුවනු ඇත.


අපි ඉතිහාසයෙන් ඉගෙන ගන්නා එකම දෙය වන්නේ අපි කිසිවක් ඉතිහාසයෙන් ඉගෙන නොගන්නා බව’ යැයි බර්නාඩ් ෂෝ ලීවේය. මිනිස් පරම්පරාවන් දෙකක ලෙයින් පමණක් ලියැවුණු ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ඊට සාක්‍ෂියකි. රාජ්‍යයේ හස්තයට සිය කැමැත්තෙන් සපයා දෙන  මර්දනයේ දඬු මුගුරෙන්ම තවත් මාසයක් ගුටිකෑම දැන් ජවිපෙ ජීවන පිළිවෙතව තිබේ. වර්තමානයේ ගැළවුම සඳහා කැඳවාගත් දෙදහස් පන්සිය අවුරුද්දක් පැරණි ඉතිහාස පිල්ලිය, විසි අවුරුද්දකට පෙර ලෙයින් උගත් පාඩම් අඳුරු කුරුබිලියක සදහටම සඟවා ඇති සෙයකි. සටන් කරන්නට බැසගත් දක්‍ෂිණාංශික අගලේම සිරව නිරා දුක් විඳ මියෙන්නට ජවිපෙ තීරණය කොට ඇත්තේ එබැවිනි. කමිස සාක්කුවල ජාතික කොඩි පැළැඳගෙන, වීදිවලට බැස පොලිස් හමුදාවන්ට ගල් ගසන දුක්බර විකට රූප විසින් සනාථ කරන්නේ ඒ ඇත්තයි.
  
ජනතා විමුක්ති පෙරමුණේ නොනිල ප්‍රකාශනය වූ ‛ලංකා’ පත්‍රයේ දේශපාලන ලියුම්කරු ඉකුත් සතියේදී මෙසේ ලියා තිබිණ: ‛‛දැන් යුද්ධයට ඇති ලොකුම බාධාව ආණ්ඩුවේ ඔලමොට්ටල ක්‍රියාකාරකම් මිස පිටස්තර බලවේග නොවේ. ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය කප්පාදු කිරීමට සැබෑ හේතුව යුද්ධය නොවේ. ආණ්ඩුව කරන්නේ යුද්ධය පෙන්වා ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීමය....එය වහාම වටහා නොගතහොත් අද මාධ්‍යවේදීන්ට පහර දෙන, කම්කරුවන්ට පහර දෙන, ශිෂ්‍යයන්ට පහර දෙන, භික්‍ෂූන්වහන්සේලාට පහර දෙන ආණ්ඩුව හා ජනාධිපතිවරයා හෙට අනෙක් අයටද පහර දෙනු ඇත. ’’
  
දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ සිතියම, උතුරේ දෙමළ ජනයාගේ ජීවත්වීමේ අයිතියත් සමගම හකුළා දැමෙන්නේ වැරදීමකින් නොව, නියත ඉතිහාස රටාවකට අනුකූලව ය. එය ආණ්ඩුවේ ‛ඔලමොට්ටලකමක්’යැයි කල්පනා කිරීම ‛ඔලමොට්ටලකමකට’ වඩා වර්ගවාදී තක්කඩිකමකි. ප්‍රකාශනයේ අයිතියත්, විරෝධය පෑමේ නිදහසත් සුරකිමින් යුද්ධ කරන්නට සමත් ‛ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු පාලන ක්‍රම’ ගැන විශ්මයජනක ඥාණය ජනතා විමුක්ති පෙරමුණට පහළ වූයේ සිය අතීතයෙන් විය නොහැකිය. ඊනියා ‛කොටි පනත’ ලෙළවමින් හද්දා පිටිසර දකුණේ ගෙමිදුල් උඩින් ඇවිද ගිය පැරණි ඝාතක හමුදාවන් විසින් කඳු ගැසූ අතීත මළවුන් ඉගැන් වූ පාඩම් අනාගතයටද වලංගු ඒවාය. වෝඩ් පෙදෙසේ සන්සුන්ව මියගිය ජයවර්ධනගෙන් ඔහුගේ අනුප්‍රාප්තික පාලක සනුහරය ඉගෙන ගත් පූර්වාදර්ශයන්, දකුණේ වධකාගාර තුළ ප්‍රචණ්ඩ මරණයන්ට මුහුණ දුන් සිය දහස් සංඛ්‍යාත පූර්වගාමීන්ගෙන් ඉගෙනගන්නට නොහැකි වීමේ වරද දකුණේ පීඩිතයින් හඹා එන සාමූහික පාපයක් වනු ඇත්තේ අනාගතයේදී ය. මහ දවල් මිනිසුන් පැහැර ගැනීම ‛සාමාන්‍ය නීතියක්’ බවට පත්වී, වීදි සටන්කරුවන්ගේ ඔළු පැලීම ‛මහා අවනීතියක්’ සේ සළකන්නට දැන් හැකිව ඇත්තේ තවමත් පැහැර ගැනෙන බහුතරයක් දෙනා දෙමළුන් පමණක් වීමේ  අහඹු කාළකණ්ණි ‛වාසනාවෙනි.’ නමුත් පාර්ලිමේන්තුවට ගෙන එන මර්දන අණ පනත්වලට පක්‍ෂව ඔසවන අත් වලින්ම ලිප්ටන් වටරවුමේ පිකට් බෝඩ් ඔසවන්නට ඉඩ ලැබීමේ වාසනා සම්පත්තියට එතරම් දීර්ඝායුෂ නැති බව එළඹෙන දවස් කියා දෙනු ඇත.

‛වීරයින් නොමැති භූමිය දුර්භාග්‍ය සම්පන්න යැයි’ බ්‍රෙෂ්ට්ගේ ‛ගැලීලියෝ’ නාට්‍යයේ එන ඇන්ඩ්‍රියා වරෙක කියයි. ‛නැහැ, වීරයින් ඕනෑ කර ඇති භූමිය දුර්භාග්‍ය සම්පන්න වේ’ යැයි ගැලීලියෝ පිළිතුරු දෙයි. අපේ දුර්භාග්‍යසම්පන්නභාවයේ රහස සැඟව ඇත්තේ ගැලීලීයෝගේ පිළිතුර තුළ යැයි මට සිතේ.


2008 සැප්තැම්බර්

Print this post

0 comments:

Post a Comment