Print this post
රාවය | 2008 අගෝස්තු 31
.......................................................................................................................................
රජයේ යුද වෑයමට උතුරු මැද හා සබරගමු පළාත්වල බහුතර ජනතාවකගේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත ප්‍රකාශ වී අවසන් වූයේ හමුදා සේනාංක අනුරාධපුරයට කැඳවීමෙනි. හරියටම 23 වෙනිදා පහන් වන විට රජයේ හමුදා තුනුක්කායි හා උයිලන්කුලමට සේන්දු වූ අතර ඇතැම් විට ඡන්දයට කලින් කිලිනොච්චියත් මුදාගැනීමට හැකි වනු ඇතැයි අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සඵලවීමට ඉතිරිව තිබුණේ කිලෝ මීටර් 12කි. අනාවැකිය කෙස් ගස් අහුරකින් වැරදී ගියද, එය ඉවසූ සබරගමු සහ උතුරු මැද දෙපළාතේ ජනයා දැන් සිය ජාතික කාර්යභාරය සම්පූර්ණ කොට හමාර ය. අනුරාධපුරයේ එජාප ක්‍රියාකාරික වෛද්‍ය රාජා ජෝන් පුල්ලේගේ නිවසද, පොළොන්නරුවේ ජවිපෙ මන්ත්‍රී එස්.කේ.සුබසිංහගේ ඔලුවද ඇතැම් විට මේ මොහොතේ ජාතියේ චිත්ත ධෛර්යය හීන කරන තේමාවන් ලෙස සැළකීමට ඉඩ ඇත්තේ ඒ නිසා ය.
මුලතිවු හා කිලිනොච්චියේ ජනයා මුදා ගැනීම පිණිස සබරගමුවේ හා උතුරු මැද ජනයා දැන් සිය ඡන්දය පූජා කොට තිබේ. එළඹෙන දවසක කළගුණ දත් කිලිනොච්චි හා මුලතිවු දිස්ත්‍රික්කයන්හි ජනයා හිලව් වශයෙන් සිය ඡන්දය පාවිච්චි කොට ඉහත දෙපළාතේ ජනයා මුදාගනු ඇතැයි පැතීම ඒ අනුව යුක්ති සහගත ය.
‛ප්‍රජාතන්ත්‍රවාදය යනු වෘකයින් දෙදෙනෙකු සහ බැටළුවෙකු, බහුතර කැමැත්තට අනුකූලව දිවා ආහාරය ගැන තීරණය කිරීමකැ’යි ලියන ලද්දේ මා දන්නා තරමින් අන්තවාදියෙකු විසින් නොවේ. මෙවර බැටළුවන්, උතුරු මැද සහ සබරගමුවෙනි. දුෂ්ඨ එඬේරුන් විසින් අතරමං කොට දැමූ මේ බැටළුවන්ගේ අතීතය වනාහී නිදහසින් පසු ගත වූ හැට අවුරුද්දක් තිස්සේ ඔවුන් පැසවූ අවීචි මහා නිරයයි. මැතිවරණ වේදිකා මත ළෙලදුන් ජාතික ධජ සෙවණේ විළියෙන් සැඟවුණු හැට වසක් පැරණි ගැඹුරු මිනිස් වේදනාවන් ගැන ලිවීම දේශද්‍රෝහීත්වයක් ලෙස අද සැළකේ. නමුත් සාමූහික විචාර බුද්ධිය පහළ වන මතුයම් දවසක විනිශ්චය කරනු පිණිස ලියා තැබිය යුතු සත්‍යයන් එමට ය.
2008 අගෝස්තු මාසයේ 04 වෙනිදා රජයේ ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් ජූලි මාසය සඳහා දිස්ත්‍රික් මට්ටමින් දරිද්‍රතා රේඛා ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ප්‍රකාශිත නිල දරිද්‍රතා රේඛාව රුපියල් 2,785කි. පොළොන්නරුවේ රුපියල් 2,900කි. රත්නපුරයේ 2,930කි. කෑගල්ලේ රුපියල් 3,007කි. මේ දරිද්‍රතා රේඛාවලට යටින් ජීවත් වන්නේ පෙර කී නිරයේ පැසෙන අන්ත දිළින්දෝ වෙති. උතුරු මැද ජනගහණයෙන් හයෙන් එකක් හෙවත් 14.2%ක්ද, සබරගමු පළාතෙන් හතරෙන් එකක් හෙවත් 24.2%ක් එවැනි දිළින්දන් ය. මේ ලියන මොහොත වනවිටත් සබරගමුවේ ජනයාගෙන් අඩක් හෙවත් 50.7%ක් ජීවත් වන්නේ 2002 දී ස්ථාපිත කරන ලද අවම පෝෂණ සහ කැලරි පරිභෝජන මට්ටම් වලට පහතිනි. උතුරු මැද පළාතේ මේ හාමත් ජන ගහණය 46.9%කි.
රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තු මූලාශ්‍ර අනුව 2003දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ සජීවී දරු උපත් 1000කට ළදරු මරණ අනුපාතිකය 19.4කි. පොළොන්නරුවේ 19.5කි. එය දිස්ත්‍රික් පදනමින් සසඳා බැලූ කල දරුණුම යථාර්ථයන් හෙළිදරව් කරන සුළුය. පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය විසින් 2006දී කරන ලද සමීක්‍ෂණයන්ගේ අවසන් වාර්තාවන්ට අනුව සබරගමු පළාතේ ගර්භනී මව්වරුන්ගෙන් 37.4%ක් නිරක්තියෙන් පෙළෙයි. උතුරු මැද පළාතේ ඒ අගය 28.7%කි. අවුරුදු පහට අඩු දරුවන් අතර මන්ද පෝෂණ ප්‍රතිශතය අනුරාධපුරයේ 23.2%ක් වන විට රත්නපුරයේ 17.1%කි. 2001 ජනගහණ සහ නිවාස සංගණනය අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ 30%කට පවිත්‍ර පානීය ජල පහසුකම් අහිමි ය. රත්නපුරයේ එය 41.4%කි. පොළොන්නරුවේ 23%ක් වන විට එය අනුරාධපුරයේ 16.5%කි.
යුද්ධයට මිනිස් බලය සපයන්නේ මේ නරකාදිය ස්වර්ගයක් බවට පෙරළාගත් තක්කඩි මං පහරන්නන්ගේ සුකුමාර දූ පුතුන් නොවේ. වෙඩි වැදී ඇද වැටෙන සෑම තරුණයෙකුගේම නිසළ දේහය ඉදිරිපිට ඉකි ගසන දුක්බර කෙසඟ මිනිසුන් රජරට සහ සබරගමුවේ කාෂ්ඨක අව්වේ කරවෙමින් කඳුළින් දූ දරුවන් හදා වඩාගත් දිළින්දෝ වෙති. දුක් බඳුනින් ජීවිතය අනුභව කොට උස් මහත් වූ ඒ දරුවන්ගේ මෘත දේහ කලින් කලට මැතිවරණ වේදිකාවල ඒ දිළින්දන්ටම තොරොම්බල් කොට ඉණ ඉහ අත ගා ගැනීම දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ඒ ඇත්ත එළිපිට කියන්නට සාමූහික එඩිතරභාවය රහිතවීමේ පාපය තවත් අඩසියවසක වහල්භාවයේ රහසයි. මව් පිය පරම්පරාවන්ගේ ජීවිත කොල්ල කා, දූ දරු පරම්පරාවන්ගේ මළ කුණුත් කොල්ල කන ඒ ප්‍රජාතන්ත්‍රවාදයෙන් අප මුදාගන්නා දිනයක් පෙනෙන තෙක් මානයක නොපෙනේ.
‛‛ප්‍රචණ්ඩත්වය වසන් කළ හැක්කේ බොරුවකින් වන අතර බොරුව පවත්වාගෙන යා හැක්කේ ප්‍රචණ්ඩත්වයෙනි’’යි වරෙක ලීවේ ඊයේ පෙරේදා මිය ගිය ඇලෙක්සැන්ඩර් සොල්ශෙනිට්සින් විසිනි. බොරුව සහ ප්‍රචණ්ඩත්වයේ කුරුසියට තබා ඇණ ගැසූ ලාංකික දිළින්දෝ පස් අවුරුද්දෙන් පස් අවුරුද්දට සිය ඇළපතට හෙල්ලෙන් අණින චෞර සෙබළුන් සිය කැමැත්තෙන් තෝරති. උතුරු මැද සහ සබරගමුවේ මුළු දුන් වෙඩි මුර සැණකෙළි වලින් පසු එළඹෙන්නේ ඒ චෞර සෙබළුන්ගේ ප්‍රීති සම්භාෂණ ඝෝෂාවයි. මුලින් කී සංඛ්‍යා දත්ත වනාහී ඒ ප්‍රීති ඝෝෂා හඬින් තවත් හාර-පස් අවුරුද්දකට යටපත්ව යාමට නියමිත අනන්ත මිනිස් වේදනාවන්ගේ දුබල කෙඳිරියයි.
වන්නියේ හාමත් ජනයා ‛අවි ගත් ත්‍රස්තවාදයෙන්’ මුදවාගන්නා දිනය අත ළඟ බව දන්නෝ කියති. නමුත් දකුණේ දුගී ජනයා ‛අවි ගත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්’ මුදවාගන්නා දිනයට තවත් කොතරම් කල් ඇතිදැයි කියන්නට කිසිවෙකු නොදනී.
2008 අගෝස්තු
Print this post
Sunday, August 31, 2008
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment