Sunday, August 24, 2008

මැතිවරණය ගැන යුද විග්‍රහයක්

Print this post


රාවය | 2008 අගෝස්තු 24
.......................................................................................................................................

මේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය සමයකි. බැලූ බැල්මට එය පාලකයින්ගේ ජීවනයද, මාර්ගයද, භෝජනයද බවට පත්ව ඇත්තාක් මෙනි. එක් අතකින් මැතිවරණ මෙහෙයුම් ය. අනෙක් අතින් හමුදා මෙහෙයුම් ය. පළමුවැන්න, අපේ ප්‍රජාතන්ත්‍රික සභ්‍යත්වය පෙන්නුම් කරනු පිණිස ය. දෙවැන්න, ඒ සභ්‍යත්වය දෙමළාට ද හුරු කරනු පිණිස ය. දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ මේ කියන කෝදුවෙන් මැන බැලූ විට අප සිටින්නේ ඉහළිනි. දෙමළ ජනයා සිටින්නේ පහළිනි. හැකි තාක් බෝම්බ හෙළා ඔවුන් අපේ මට්ටමට ගතයුතු බවට දකුණේ බහුතරයක් කල්පනා කරන්නේ මේ නිසාය.
  
නමුත් අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරහක් තිබේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මැතිවරණ මෙහෙයුම් සහ යුද මෙහෙයුම් අතර වෙනස කෙස් ගසකි. සැකයක් වෙතොත් ඉකුත් සති දෙක - තුන තුළ මාධ්‍ය වාර්තා විමසා බැලිය හැකිය.


ඉන් සමහරක් මෙසේය: අගෝස්තු 09 වෙනිදා මුලතිවු කොටි රේඩාර් මධ්‍යස්ථානය ගුවන් ප්‍රහාරවලින් සුන්ව ගිය බවට යුද පුවතකි. එදිනම අළුයම එක්සත් ජාතික පක්‍ෂයේ ආධාරකරුවන් රැගත් වාහනයකට අනුරාධපුර සතිපොළ ආසන්නයේදී වෙඩි ප්‍රහාර එල්ල වූ බවටත්, අවිස්සාවේල්ල ගැටහැත්තේදී ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කළ බවටත් මැතිවරණ පුවතකි. 10 වෙනිදා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ‛බේස් 33’ රජයේ හමුදා විසින් අත්පත් කරගත් බවට යුද පුවතකි. එදිනම පැවති ජවිපෙ සාමකාමී පෙළපාලියකට නිවිතිගල සතිපොළ ආසන්නයේදී පොලු මුගුරු ගත් ආණ්ඩු පාක්‍ෂික මැරයෝ පහර දුන් බවට මැතිවරණ පුවතකි. 13 වෙනි බ්‍රහස්පතින්දා නාච්චිකුඩා කල්ලෙයිකාඩු ජැටිය රජයේ හමුදා යටතට පත් වූ බවට යුද පුවතකි. ඡන්ද මධ්‍යස්ථාන වලට යුද හමුදාව සහ ක්‍ෂණික පොලිස් මෙහෙයුම් කණ්ඩායම් යොදවන බවට මැතිවරණ කොමසාරිස්වරයා ඒ බ්‍රහස්පතින්දාවේම පොරොන්දු වූ බවට මැතිවරණ පුවතකි. කල්විලාන් හා මුලන්ගාවිල්වලට රජයේ හමුදා ඇතුල් වූ බවට මාධ්‍ය වාර්තා පළවන්නේ අගෝස්තු 14 වෙනිදාය. සබරගමුවේ එජාප මහ ඇමති අපේක්‍ෂකයාට පැල්මඩුල්ලේ ගල්ලෑල්ලේදී පහර දුන් බවට මාධ්‍ය වාර්තා පළවන්නේද 14 වෙනිදා ය.
  
මේ රටාවේම තවත් පුවත් එමට ය: ළමුන් හා වැඩිහිටියන්ද එක්කොට කිලිනොච්චියේ අවසන් සටනට කොටි සංවිධානය සැරසෙන බවට යුද පුවතකින් හෙළි වේ. ඡන්ද අයිතිය උදුරාගන්න තැත් කළහොත් කැත්ත, පොල්ල, කඩුව, මන්නය ගන්නා මෙන් උතුරු මැද පළාතේ එජාප මහ ඇමති අපේක්‍ෂකයා කී බවට මැතිවරණ පුවතකින් කියැවේ. ‛කිසිදු බලවේගයකට යට නොවී ත්‍රස්තවාදය මාතෘ භූමියෙන් අතුගා දමන්නට තම පාලනයට හැකි බවට’ ජනපති මහනුවරදී කියයි. ‛පක්‍ෂය අවසර දෙතොත් බර්ටි ප්‍රේමලාල්ලාගේ කාර්යාල සියල්ල රැයක් එළි වෙනවිට සුද්ද කරන්නට තමන්ට හැකි බව’ ජවිපෙ වෘත්තීය සමිති නායක තඹුත්තේගමදී කියයි. ආන්දන්කුලම්හී ‛ජීවන් බේස්’ පුහුණු කඳවුර රජයේ හමුදා විසින් පහර දී විනාශ කළ බවට 18 වෙනිදා යුද පුවතක් පළවන අතර රඹුක්කන, පරකඩුව, පුස්සැල්ල හා දොරණගල ජවිපෙ මැතිවරණ කාර්යාල ආණ්ඩු පාක්‍ෂික මැර පිරිස් විසින් පහර දී විනාශ කළ බවට 19 වෙනිදා මැතිවරණ පුවතක් පළ වේ.
  
බැලූ බැල්මට සංත්‍රාසයෙන් අනූන වුවද මින් එකක් යුද්ධයකි. අනෙක ඡන්දයකි. යුද්ධයෙන් අයිතීන් දිනීම කරා දෙමළ ජනයා තිස් අවුරුද්දකට කලින් තල්ලු වූයේ ඡන්දයෙන් අයිතිය දිනීම යුද්ධයක් බවට පෙරළුණු හෙයිනි. නමුත් දකුණේ ඡන්ද තවමත් යුද්ධ මෙන් ඇවිළෙයි. දකුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඇත්ත සාරය වන්නේ ‛ආණ්ඩුව අපේ නම්, පොලිසිය හා හමුදාවත් අපේ නම්, ජනාධිපතිතුමත් අපේ නම් මේ ඡන්දය අපට දිනන්න බැරිදැ’යි ඡන්ද දායකයින්ගේම අත්පොළසන් මැද අසන්නට දේශපාලකයින්ට ඇති අයිතියයි. නමුත් ඒ සාරය වහා ළඟා කරගත යුතු ශිෂ්ටත්වයක් වශයෙන් පිළි නොගැනීම දෙමළ ජනයාගේ උත්පත්ති පාපයයි. බෝම්බ ටොන් ගණන් හෙළා හෝ අපේ ප්‍රජාතාන්ත්‍රික ජයග්‍රහණ ගැන ඔවුන්ට උගන්වන්නට ඇති හැට අවුරුද්දක් පැරණි මහඟු පාඩම එයයි.
  
ඡන්ද අයිතිය ආරක්‍ෂා කරගැනීමට කැති, පොලු, මන්නා ගන්නට කියන්නේ ඇයිදැයි එක්සත් ජාතික පක්‍ෂයේ උතුරු මැද මහ ඇමති අපේක්‍ෂකයාගෙන් 20 වෙනිදා ‛ලක්බිම’ පත්‍රය විමසා තිබිණ. ‛තමාගේ ජීවිතයට, දේපළවලට, ඥාතීන්ට යමෙක් පහර දෙනවා නම්, තම ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම දෙයක් කළ හැකි බව අපේ නීති පොතේ 86-94 දක්වා වගන්තිවලින් දැක්වෙන’ බව ඔහුගේ පිළිතුරයි. දකුණේදී ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වශයෙන් සැළකෙන ඒ වගන්ති උතුරේදී ත්‍රස්තවාදයක් සේ සැළකේ. අප ශිෂ්ට වී ඔවුන් අශිෂ්ට වන්නේ ඒ හෙයිනි.

‛ආක්‍රමණශීලී තකතීරුකම තරම් නරක තවත් දෙයක් නැතැ’යි සම්භාව්‍ය ජර්මන් ලේඛක ගර්ත සියවස් දෙකකට කලින් කීවේය. ලංකාවේ හැට අවුරුද්දක දේශපාලන ඉතිහාසයත්, තිස් අවුරුද්දක යුද ඉතිහාසයත් ඊට මනා සාක්‍ෂි ය. රජයේ නිල සංඛ්‍යා ලේඛණවලට අනුව 2006 ජූලියේ සිට මේ දක්වා උතුරු සහ නැගෙනහිර හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිංහල තරුණයින්ගේ සංඛ්‍යාව 1,700කි. ඒ ජීවිත දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය උදාකරලීම වෙනුවෙන් පරිත්‍යාග කළ ඒවා යැයි දකුණේ ජනයා කල්පනා කරති. නමුත් ඒ සා කැපවීමෙන් සිංහල ජනයාගේ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් වෙනුවෙන් සටන් කරන්නට ඒ පීඩිත තරුණයින් ඉතිරි වී නම් තක්කඩි පාතාල මැරයින්ගේද, නූගත් ග්‍රාමීය චන්ඩින්ගේද ප්‍රාණ ඇපයෙන් අනාගත ලංකාව ගළවාගන්නා මාර්ගයක් අපට විවර වන්නට ඉඩ තිබිණ.



2008 අගෝස්තු

Print this post

0 comments:

Post a Comment