Sunday, August 17, 2008

වන්නිය සහ මරණීය නිදහස

Print this post


රාවය | 2008 අගෝස්තු 17
....................................................................................................................................... 

දෙමළ ජනයා ‛නිදහස් කරගැනීමේ’ නිරාමිස ප්‍රීතිය දකුණු ලංකාව පුරා උණක් මෙන් පැතිර යමින් තිබේ. කවර හෝ මිලක් ගෙවා දෙමළ ජනයාට ‛ප්‍රජාතන්ත්‍රවාදය’ දිනාදීමේ අභිලාෂය දැන් දොරින් දොර බුර බුරා ඇවිලෙන උද්වේගී අග්නි ජාලාවකි. මර්වින් සිල්වාගෙන් ගැළවී ගැනීම දෙවියන්ට භාර කළ සමාජයක් ‛දෙමළ ජනයා ගළවාගැනීම’ සියතට ගෙන තිබේ. එක් අතකින් බැලූ විට ‛අපිට ප්‍රජාතන්ත්‍රවාදය නැතත්, තොපිට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දෙන්නෙමු’යි සිතීමද පාරමිතා පූජාවකි.
  
නැගෙනහිර මුදාගැනීමේ උත්කර්ෂවත් සැමරුම්වල වඩදිය රළ බැස ගියා පමණි: උතුරේ ‛ජනයා මුදාගැනීමේ’ බලාපොරොත්තුවෙන් උපන් සන්තුෂ්ඨිය දැන් දුගී දකුණේ පරම ධනය බවට පත්වෙමින් තිබේ.


 කොළඹ මාධ්‍ය වාර්තාවන්ට අනුව වන්නිය අල්ලා ගැනීමේ රජයේ හමුදා මෙහෙයුම් දැන් ඇත්තේ අවසන් අඩියේය.  මුලතිවු හා කිලිනොච්චියේ මග දෙපස රැස් කමින් සිංහ කොඩි වනන්නට දින ගණින දෙමළ ජනයා පිළිබඳ දකුණේ කල්පිත චිත්ත රූපය එහි ඵලයකි. මාධ්‍ය අනුග්‍රහයෙන් චිත්‍රණය කෙරෙන ‛දෙමළ ජන නිදහස’ බැලූ බැල්මට සිත් කා වදින රමණීය සිතුවමකි. නමුත් ලේ වැකි අඳුරු ඛේදයන් ගැබ්ව ඇත්තේ එහි ගැඹුරේ ය. නැගෙනහිර යථාර්ථය ආසන්න සාක්‍ෂියකි.
 
නැගෙනහිර ‛මානුෂික මෙහෙුයම්’ මාවිල් ආරු සොරොව්වෙන් ආරම්භ වූයේ 2006 ජූලියේදී ය. 2007 ජූලි 11 වෙනිදා කුඩුම්බිමලෛ හෙවත් තොප්පිගල අල්ලා ගැනීමෙන් මෙහෙයුම් අවසන් වන විට දෙලක්‍ෂයකට වැඩි ජනයා අවතැන්ව සිටියහ. සටන් ඇරඹි ත්‍රිකුණාමලයේ නැගෙනහිර මුත්තූර් ප්‍රදේශය, අවසානයේදී කොටි ගරිල්ලන්ගෙන් පමණක් නොව, එහි පාරම්පරිකව දිවි ගෙවූ දෙමළ-මුස්ලිම් ජනයාගෙන්ද මුදා ගැණින. 2007 මැයි 30 වෙනිදා නිකුත් කළ රජයේ විශේෂ ගැසට් පත්‍රිකාව මගින් නැගෙනහිර මුත්තූර් ප්‍රදේශය මිලිටරි අධි ආරක්‍ෂක කළාපයක් වශයෙන් නම් කෙරුණු අතර වර්ග කිලෝ මීටර් 90ක භූමි භාගයක් ඒ යටතට ඈඳා ගැණින. මානව හිමිකම් පිළිබඳ යාපනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය විසින් 2007 අගෝස්තුවේ නිකුත් කරන ලද අංක 26 දරණ විශේෂ වාර්තාවට අනුව ‛මුදාගත් ජනයා’ පිටමං කළ මුත්තූර් අධි ආරක්‍ෂක කළාපය යටතට වැටෙන ග්‍රාම සේවක වසම් සංඛ්‍යාව 12කි. ගම්මාන 28කි. පාසැල් 19කි. වැව් හා ජලාශ 88කි. ගොවි බිම් හෙක්ටෙයාර් 2000කි. අවතැන් පවුල් සංඛ්‍යාව 4,249කි.
 
නැගෙනහිර දෙමළ ජනයා මුදාගැනීමේ තිත්ත කතාව එතෙකින් නොනවතී. මඩකළපු දිස්ත්‍රික්කයේ දරුණු සටන් ඇවිළ ගිය වාකරෛ ප්‍රදේශය රජයේ හමුදා පාලනය යටතට ගන්නා ලද්දේ 2007 ජනවාරියේදී ය. අවතැන් ජනයා නැවත පදිංචි කිරීම් සාර්ථකව සිදුවන බවට දෛනික පුවත් පළවිණ. ඉන් සිව් මසක් ඇතුළතදී යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහයෙන් වාකරෛ ප්‍රදේශයේ ග්‍රාම සෙවක වසම් 12න් 7ක් ආවරණය කරමින්  සමීක්‍ෂණයක් දියත් විය. ජූනි 29 වෙනිදා නිකුත් කරන ලද අවසන් වාර්තාවට අනුව සටන් ආරම්භ වන විට වගාබිම් හිමිව තිබූ 53%කින් 42%කටම සිය ගොවිබිම්වලට නැවත යාමේ මං වැසී ගොස් තිබිණ. අවතැන් වීමට පෙරාතුව ප්‍රදේශයේ ජනගහණයෙන් 73%කට පශු සම්පත් හිමිව තිබූ අතර ‛මුදාගැනීමේ මෙහෙයුම්’ නිමා වී හාර මාසයක් ගත වන විට එම සංඛ්‍යාව 17%ක් දක්වා අඩුව තිබිණ. (Narrative Reporting on the Emergency Assesment Among Returnee Families in Vaharai DS Division - 2007 ජූනි)
 
වන්නියේ ‛දෙමළ ජනයා නිදහස් කරගැනීමේ’ මෙහෙයුම් විසින් නිර්මාණය කිරීමට නියමිත අඳුරු යථාර්ථයන්ට පූර්වාදර්ශ සපයන නැගෙනහිර කතාන්දරය එබඳුය. උතුරේ එළඹෙන ව්‍යසනයන් දැනටමත් ලේ වැකි මුව විදහන්නට පටන්ගෙන තිබේ. අගෝස්තු 08 වෙනිදා ‛ද නේෂන්’ පත්‍රයේ පළ වූ වාර්තාවකට අනුව වවුනියාවෙන් සහ මන්නාරමෙන් අවතැන්ව පැමිණෙන ජනයාගෙන් දැනටමත් මුලතිවු හා කිලිනොච්චි දිස්ත්‍රික්ක පිරී යමින් පවතී. මුලතිවුහි පමණක් අවතැන් ජනගහණය 12,000 ඉක්මවා ඇති අතර නැගෙනහිර මන්තායි ප්‍රදේශයේ පාසැල් 14ක්ද, තුනුක්කායි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් 11ක්ද, ඔඩ්ඩුසුඩ්ඩාන් කොට්ඨාශයේ පාසැල් 6ක්ද දැනටමත් වැසී ගොස් තිබේ.
 
මරණ බියෙන් පළා යන අවතැන් ජනයාගේ සංඛ්‍යාවන් වන්නියේ දිග හැරෙන මිනිස් ඛේදවාචකය හකුළා පෙන්වන්නට සමත් ය. මන්නාරම් දිස්ත්‍රික්කයේ අඩම්පන්, ආන්දන්කුලම්, මඩු, ඉලුප්පායිකඩවෛ, මූනම්පිඩ්ඩි ඇතුළු ප්‍රදේශවලින් පලා ආ පවුල් 7,650ක් මේ මොහොත වනවිටත් මුලන්ගාවිල් හා වෙල්ලන්කුලම්හි ගස් යට දිවි ගෙවති. මුලන්ගාවිල් හා නාච්චිකුඩාහි සිට අවතැන් වූ පවුල් 750කට වැඩි සංඛ්‍යාවක් වන්නේරිකුලම් දක්වා පලා විත් තිබේ. මුලතිවු දිස්ත්‍රික්කයේ මල්ලාවි, තුනුක්කායි හා පාණ්ඩියන්කුලම් ප්‍රදේශයන්හි ජීවත් වෙමින් සිටියදී අවතැන් පවුල් 2,400කට වැඩි ප්‍රමාණයක් අක්කරායන් හා මුරුකණ්ඩි ප්‍රදේශයන්හි මාවත් අද්දර දිවි ගෙවති. වන්නි ප්‍රදේශය තුළ සහන සේවාවන්හි නියුතු ආයතනයන්ගේ අන්තර් සංවිධාන ස්ථාවර කමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව ජූලි 03 වෙනිදායින් අවසන් වූ සතිය වන විට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අවතැන් ජනගහණය 54,521කි. මුලතිවු දිස්ත්‍රික්කයේ 52,521කි. වවුනියාවේ 18,372කි. මන්නාරමේ 24,126කි. (Inter Agency Standing Committee Country Team - Situation Report 133)
 
එළඹෙන මෝසම් සමය තුළ නැග එන ගං වතුරින්ද, මැලේරියා සහ කොළරා වසංගතයන්ගෙන්ද, ආහාර හා ඖෂධ හිඟයෙන්ද, දෛනික ගුවන් හා ෂෙල් ප්‍රහාරයන්ගෙන්ද වන්නියේ මිනිස් නරකාදිය තව දුරටත් ගැඹුරුවන්නට නියමිතව තිබේ. ඒ නිරයේ දැවෙමින් ගස්-ගල් යට මියෙන්නට ඉරණම්ව ඇත්තේ, සිව් අවුරුද්දකට පෙර ඒ -9 පාර ඔස්සේ ආ ගිය දකුණේ ගැහැණුන් සහ මිනිසුන්ට හිත් බිඳෙන වදනකුදු නොකියා ආචාරශීලී දිළිඳු සිනහවෙන් සංග්‍රහ කළ දුගී මිනිස් කැළතකි. දකුණේ හෘදය සාක්‍ෂියක් සහිත සිංහලයන්ගේ හදවත් දැදුරු කරන පාපී නින්දාවේ කිණිසි පහර එල්ල වනු ඇත්තේ ඒ මිනිස් වේදනාවන්ගෙනි.

‛ශිෂ්ඨාචාරයක් හරහා ගමන් නොකොට ම්ලේච්ඡත්වයේ සිට පරිහාණිය කරා ගමන් කළ එකම රට ඇමරිකාව’යැයි ඔස්කා වයිල්ඩ් ලීවේය. ලංකාව ඉන් වෙනස් වන්නේ කෙසේදැයි මට නොවැටහේ.


2008 අගෝස්තු

Print this post

0 comments:

Post a Comment