Print this post
රාවය | 2008 අගෝස්තු 03
.......................................................................................................................................
නීත්‍යානුකූල පිස්තෝලයකින් වෙඩි තබන මර්වින් සිල්වාගේ ගොපළු අවතාරය දැන් යළිත් මතු වී තිබේ. මෙවර රජරටිනි. ගොදුර ජවිපෙනි. ජූලි 27 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නුවරගල කාර්මික පෙදෙසේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකුගේ වෙළඳ සැළකට කඩා වැදුණු මර්වින් සිල්වා සිය මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ ක්‍රියාකාරිකයන්ට තර්ජනය කොට හතර අතේ වෙඩි තැබූ බවට ජවිපෙන් චෝදනා එල්ල වී ඇත. නමුත් තමන් මහවැලි නිවාඩු නිකේතනයෙන් පිටතට අඩියක් නොසෙල්ලූ බව මර්වින් සිල්වා සුපුරුදු පරිදි සහතික කොට කියා සිටියි. නුවරගල කාර්මික පෙදෙසින් මතුව ඇත්තේ අවතාරයක් විය හැක්කේ එබැවිනි.
නමුත් ජූලි 27 වෙනිදා රඟදැක්වුණු සංත්‍රාසජනක නාටකය පෙළ ගැසෙමින් ඇති වැදගත් සිද්ධීන් දාමයක් පිළිබඳ තවත් එක් හැඟවුමක් සපයයි. ඒ වනාහී ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට ගනිමින් වර්ධනය වන රාජ්‍ය හිංසනය හා බැඳුනකි. ජවිපෙට එරෙහිව ක්‍රමානුකූලව උත්සන්න කෙරෙන රාජ්‍ය හිංසන ක්‍රියාවන්ගේ තීව්‍ර වීමක් ඉකුත් දෙමසක කාලය විසින් පෙන්නුම් කොට තිබේ. අවශ්‍ය නම් මෑත සිදුවීම් ගැන සංක්‍ෂිප්ත ආවර්ජනයක් වුවද, මේ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි සපයයි.
ජූනි 08 වෙනිදා බඩුමිල අඩු කරන ලෙස ඉල්ලා හලාවත, ආරච්චිකට්ටුවේදී විරෝධතා දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින්ට මැර ප්‍රහාරයක් එල්ල විණ. ප්‍රහාරය මෙහෙයවන ලද්දේ ආණ්ඩුවේ පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීන්ගේ නායකත්වයෙන් යුතු මැර කණ්ඩායම් විසිනි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පස් දෙනෙකු රෝහල් ගත කොට, ප්‍රහාරයට විරෝධය පෑම පිණිස ජූනි 09 වෙනිදා පුළුල් විරෝධතාවක් කැඳවිණ. විරෝධතාකරුවෝ යළිත් ආණ්ඩුවේ ආධාරකරුවන්ගේ කලු තෙල් ප්‍රහාරයකට ගොදුරු වූහ. ප්‍රහාරය පිළිබඳ ආරම්භ කෙරුණු පරීක්‍ෂණ මුවාවෙන් පහර කෑ ජවිපෙ මන්ත්‍රීවරයා ඇතුළු සිව් දෙනෙකු ජූනි 10 වෙනිදා පොලිස් අත් අඩංගුවට ගැනිණ. එදිනම කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයට කැඳවූ පුවත්පත් සාකච්ඡාවක් ඇමතූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත්, ‛තමන් හදිසි නීතියට පක්‍ෂව ඡන්දය දෙනු ලැබූයේ වන්නි කොටින් පරාජය කිරීමට මිස ජනමාධ්‍ය සහ ප්‍රජාතන්ත්‍රවාදී හඬ යටපත් කිරීමට නොවන බවත්, ඉදිරියේදී ආණ්ඩුවට තමන්ගේ කිසිදු සහායක් හිමි නොවන බවටත්’ ශපථ කොට සිටියේය. එතැන් සිට ගත වූයේ මාසයකි. ජූලි 03 වෙනිදා ජවිපෙ සබරගමුව පළාත් සභා අපේක්‍ෂකයෙකු නිවිතිගලදී යළිත් ආණ්ඩුවේ මැර ප්‍රහාරයට ගොදුරු විය. සන්ධාන රජයේ කැබිනට් නොවන ඇමතිවරයෙකු විසින් මෙහෙයවන ලද ප්‍රහාරයට ගොදුරුව රෝහල්ගත කළ ජවිපෙ සාමාජිකයාගේ එක් කණක ඇසීම අහිමිව තිබිණ. ජූලි 07 වෙනිදා ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයට පහර දුන් ආණ්ඩුවේ මැර පිරිස් මැතිවරණ ප්‍රචාරක පුවරු කඩා බිඳ දැමූ බවට වාර්තා විණ. ජූලි 08 වෙනිදා අළුයම හතරට ජවිපෙ ගලෙන්බිඳුණුවැව කාර්යාලයට යළිත් කඩා වැදුණු ආණ්ඩු පාක්‍ෂික මැරයෝ දේපළ හානි කරමින් තර්ජන කළහ. නමුත් එදිනම පාර්ලිමේන්තුවේදී හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාවට පක්‍ෂව ජවිපෙ ආණ්ඩු පක්‍ෂය හා එක්ව ඡන්දය පාවිච්චි කළේය. ඒ හවුල් රංගනයෙන් දෙසතියක් ගත වූ තැන ජූලි 25 වෙනිදා කඩුවෙල ප්‍රාදේශීය සභා භූමිය තුළදීම යළිත් ජවිපෙ මන්ත්‍රීහු දරුණු ප්‍රහාරයකට ගොදුරු වූහ. ප්‍රහාරය මෙහෙයවන ලද්දේ කඩුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂ ආධාරකරුවන් විසිනි. මර්වින් සිල්වාගේ නුවරගල ජවනිකාව රඟ දැක්වෙන්නේ ඉන් දෙදිනක් ඇවෑමෙනි.
මේ දිග හැරෙන්නේ, ‛80 දශකයේ ජයවර්ධන විසින් රඟ දැක්වූ පිටපතෙහිම නව නිෂ්පාදනයක් බවට සැක නැත. ජවිපෙ විසින් නියෝජනය කරනු ලබන දකුණේ රැඩිකල් සමාජ බලවේග ප්‍රධාන දේශපාලන ධාරාවෙන් පලවා හැරීමට අවශ්‍ය පැරණි දෙබස් නව නළුවන් විසින් දැන් දැන් වැඩි වශයෙන් වහරනු පෙනෙන්නේ එහෙයිනි. නමුත් අවාසනාවන්ත සරදම එය නොවේ. සරදම වන්නේ දැන් තමන්ගේ ගහළයින් බවට පත්වීම පිණිස කැස කවන බලවේගයන් සමග හාද වී ඉකුත් දශකය මුළුල්ලේ දකුණේ කම්කරු පාන්තික සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග දුර්මුඛ කිරීමට ජවිපෙ විසින් ඔසවාගත් දඬු මුගුර දැන් ජවිපෙ හිස මතටම පාත් වෙමින් තිබීමයි. සමාජ යුක්තිය පැතූ කැරැළිකාරී පරම්පරා දෙකක පරිත්‍යාගයන්ගේ මහිමය, මිනිස් අයිතීන් පාගා දමමින් වැඩී ආ අධිපතිවාදයකට පාවාඩයක් බවට පත්කළ ඒ අවමන්සහගත ඉතිහාස පරිච්ඡේදය දුරාතීතයේ නොව, අද ඊයේ එකකි. අපුල වුවද ඒ ඉතිහාසය තැනකින් දෙකකින් උපුටා පෙන්වීම අතීතය අමතකවුන්ගේ ඇම්නේසියාවට ඔසුවකි.
ඉකුත් අවුරුද්දේ මාර්තු 14 වෙනිදා ජවිපෙ වෘත්තීය සමිති නායක කේ.ඩී. ලාල්කාන්ත සම්මුඛ සාකච්ඡාවකට එක්කරගනිමින් වර්ධනය වන අතුරුදහන්වීම් සහ භීෂණකාරීත්වය ගැන ‛ලක්බිම’ පත්‍රය විමසා තිබිණ. පිළිතුර මෙසේය: ‛‛...මේක එක්සත් ජාතික පක්‍ෂයේ අය කියනවා. ඊළඟට පාර්ලිමේන්තුවේ ඉන්න කොටි නියෝජිතයෝ වන දෙමළ ජාතික සන්ධානයේ අය කියනවා. ඊළඟට තමන්ගේ සාමාජිකයෝ, නායකයෝ අත් අඩංගුවට ගත්තු වෘත්තීය සමිතිවල අය කියනවා. ඇතැම් මාධ්‍ය කියනවා. එසේ නැතුව සමාජයේ පොදුවේ එහෙම තත්ත්වයක් ඇති වී නැහැ.’’ - පිළිකුල් සහගත අවස්ථාවාදය එතෙකින්ද නොනවතී. ‛මානව හිමිකම් කඩවීම් සහ තැනින් තැන මළ සිරුරු හමුවීම්’ ගැන ඒ වසරේ ජූනි 17 වෙනිදා ‛ලංකාදීප’ පත්‍රය ලාල්කාන්තගෙන්ම විමසා තිබිණ. යළිත් පිළිතුර මෙසේය: ‛‛අතුරුදහන්වීම් මෙන්ම පැහැරගෙන යාම්ද සිද්ධ වෙනවා. මළ සිරුරුත් හමුවෙනවා. මෙතන තියෙන ප්‍රශ්නය තමයි, මේ ක්‍රියාදාමයට ආණ්ඩුවේ දායකත්වය කොතෙක්ද කියන එක. සෘජුවම මේ සියල්ලට රජය වගකිව යුතුයි කියලා කියන්න බෑ. රටේ යුදමය තත්ත්වයක් තියෙනවා. එබඳු යුදමය තත්ත්වයක් තිබෙනකොට මෙබඳු දේ බලාපොරොත්තු වෙන්න වෙනවා.’’ ඒ අවුරුද්දේම නොවැම්බර් 23 වෙනිදා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ‛මානව හිමිකම්: තිරය පිටුපස කතාව’ මැයෙන් පැවැති ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයේදී ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින්ද උද්‍යෝගයෙන් ලෙළවන ලද්දේ මේ අවස්ථාවාදයේම ධජයයි. ඒ පිළිබඳ නොවැම්බර් 26 වෙනිදා ‛දිවයින’ පත්‍රයේ පළවූ වාර්තාවට අනුව මේ වචන ඔහුගේය: ‛‛ලංකාව තුළ මානව අයිතීන් උල්ලංඝණය කිරීම් සිදු නොවෙනවා නොවේ. එහෙත් ඒ ප්‍රමාණය ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇති රටක් වී තිබියදීත් ඉවසිය හැකි මට්ටමකයි තිබෙන්නේ. ප්‍රශ්න ඇති වෙනත් රටවල් හා සංසන්දනය කරද්දී ශ්‍රී ලංකාවේ සිදුවන මානව අයිතීන් කඩවීම් ප්‍රමාණය ඒ තරම් ඉහළ මට්ටමක නොවේ පවතින්නේ.’’ - ජීවත්වීමේ අයිතිය සංසන්දනාත්මකව සළකා බැලිය යුත්තක්ය යන මේ ඥාණය ජවිපෙට පහළ වූයේ ජීවිත පරිත්‍යාග කළ සිය පූර්වගාමීන්ගේ මිනිස් ආදර්ශයන්ගෙන් නම් විය නොහැකිය. ලැජ්ජාවෙන් හෝ කියවා බැලිය යුතු ජවිපෙ ඉතිහාසයේ අවස්ථාවාදය පිළිබඳ නින්දිතම පරිච්ඡේදය මේ වචන අතර සැඟව තිබේ.
අද ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව අමෝරන මර්දනයේ අසිපත් වසරකට - දෙකකට පෙර ජවිපෙ ආචාරීන් විසින්ම වෙහෙස නොබලා පන්නරය තබා දුන් ඒවා වීම ඇත්තකි. නමුත් දේශපාලනය කිරීමට ජවිපෙ සතු අයිතිය ඊට හිලව් කිරීමට කිසිසේත් ඉඩක් නොතැබිය යුතුය. ජවිපෙ දේශපාලන ඉතිහාසය වනාහී දකුණේ ප්‍රභූ දේශපාලන පන්තියේ සුකුමාර පරවේණි උරුමය ඔස්සේ නිර්මාණය වූවක් නොවේ. ඒ ඉතිහාසය වූ කලී එකී ධනපති දේශපාලනයේ ගොදුරු බවට පත්වූ දුගී පීඩිත සමාජ පන්තීන් තුළ කැකෑරෙන දුක් වේදනාවන්ගේ උරුමය අවියක් කොටගෙන අචල දිරියෙන් සටන් කොට දිවිදුන් මිනිසුන් සහ ගැහැණුන්ගේ වික්‍රමාන්විත පරිත්‍යාගයන්ගේ නිර්මාණයකි. ජවිපෙට එරෙහිව වර්ධනය වන සැහැසි රාජ්‍ය මර්දනය හමුවේ යුක්තිය සහ නිදහස අගයනවුන් මුනිවත නොරැකිය යුත්තේ, ඒ පරිත්‍යාගයන්ගේ ඉතිහාසය ලාංකීය විප්ලවකාරී මිනිස් ඉතිහාසයේ දීප්තිමත්ම පරිච්ඡේදයක් වන හෙයිනි. ඒ ඉතිහාස කතාවේ ඉතිරි අඩත් නව පරම්පරාවක ලෙයින් ලියන්නට ඉඩක් නොතැබිය යුතු හෙයිනි.
2008 අගෝස්තු
Print this post
Sunday, August 3, 2008
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment