Sunday, August 31, 2008

මුදානොගත් දකුණේ සිට


රාවය | 2008 අගෝස්තු 31
.......................................................................................................................................

ජයේ යුද වෑයමට උතුරු මැද හා සබරගමු පළාත්වල බහුතර ජනතාවකගේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී කැමැත්ත ප්‍රකාශ වී අවසන් වූයේ හමුදා සේනාංක අනුරාධපුරයට කැඳවීමෙනි. හරියටම 23 වෙනිදා පහන් වන විට රජයේ හමුදා තුනුක්කායි හා උයිලන්කුලමට සේන්දු වූ අතර ඇතැම් විට ඡන්දයට කලින් කිලිනොච්චියත් මුදාගැනීමට හැකි වනු ඇතැයි අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශය සඵලවීමට ඉතිරිව තිබුණේ කිලෝ මීටර් 12කි. අනාවැකිය කෙස් ගස් අහුරකින් වැරදී ගියද, එය ඉවසූ සබරගමු සහ උතුරු මැද දෙපළාතේ ජනයා දැන් සිය ජාතික කාර්යභාරය සම්පූර්ණ කොට හමාර ය. අනුරාධපුරයේ එජාප ක්‍රියාකාරික වෛද්‍ය රාජා ජෝන් පුල්ලේගේ නිවසද, පොළොන්නරුවේ ජවිපෙ මන්ත්‍රී එස්.කේ.සුබසිංහගේ ඔලුවද ඇතැම් විට මේ මොහොතේ ජාතියේ චිත්ත ධෛර්යය හීන කරන තේමාවන් ලෙස සැළකීමට ඉඩ ඇත්තේ ඒ නිසා ය.
  
මුලතිවු හා කිලිනොච්චියේ ජනයා මුදා ගැනීම පිණිස සබරගමුවේ හා උතුරු මැද ජනයා දැන් සිය ඡන්දය පූජා කොට තිබේ. එළඹෙන දවසක කළගුණ දත් කිලිනොච්චි හා මුලතිවු දිස්ත්‍රික්කයන්හි ජනයා හිලව් වශයෙන් සිය ඡන්දය පාවිච්චි කොට ඉහත දෙපළාතේ ජනයා මුදාගනු ඇතැයි පැතීම ඒ අනුව යුක්ති සහගත ය.


Sunday, August 24, 2008

මැතිවරණය ගැන යුද විග්‍රහයක්


රාවය | 2008 අගෝස්තු 24
.......................................................................................................................................

මේ, ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වර්ණමය සමයකි. බැලූ බැල්මට එය පාලකයින්ගේ ජීවනයද, මාර්ගයද, භෝජනයද බවට පත්ව ඇත්තාක් මෙනි. එක් අතකින් මැතිවරණ මෙහෙයුම් ය. අනෙක් අතින් හමුදා මෙහෙයුම් ය. පළමුවැන්න, අපේ ප්‍රජාතන්ත්‍රික සභ්‍යත්වය පෙන්නුම් කරනු පිණිස ය. දෙවැන්න, ඒ සභ්‍යත්වය දෙමළාට ද හුරු කරනු පිණිස ය. දේශපාලන ශිෂ්ටත්වය පිළිබඳ මේ කියන කෝදුවෙන් මැන බැලූ විට අප සිටින්නේ ඉහළිනි. දෙමළ ජනයා සිටින්නේ පහළිනි. හැකි තාක් බෝම්බ හෙළා ඔවුන් අපේ මට්ටමට ගතයුතු බවට දකුණේ බහුතරයක් කල්පනා කරන්නේ මේ නිසාය.
  
නමුත් අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ පරහක් තිබේ. ඒ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව මැතිවරණ මෙහෙයුම් සහ යුද මෙහෙයුම් අතර වෙනස කෙස් ගසකි. සැකයක් වෙතොත් ඉකුත් සති දෙක - තුන තුළ මාධ්‍ය වාර්තා විමසා බැලිය හැකිය.


Sunday, August 17, 2008

වන්නිය සහ මරණීය නිදහස


රාවය | 2008 අගෝස්තු 17
....................................................................................................................................... 

දෙමළ ජනයා ‛නිදහස් කරගැනීමේ’ නිරාමිස ප්‍රීතිය දකුණු ලංකාව පුරා උණක් මෙන් පැතිර යමින් තිබේ. කවර හෝ මිලක් ගෙවා දෙමළ ජනයාට ‛ප්‍රජාතන්ත්‍රවාදය’ දිනාදීමේ අභිලාෂය දැන් දොරින් දොර බුර බුරා ඇවිලෙන උද්වේගී අග්නි ජාලාවකි. මර්වින් සිල්වාගෙන් ගැළවී ගැනීම දෙවියන්ට භාර කළ සමාජයක් ‛දෙමළ ජනයා ගළවාගැනීම’ සියතට ගෙන තිබේ. එක් අතකින් බැලූ විට ‛අපිට ප්‍රජාතන්ත්‍රවාදය නැතත්, තොපිට ප්‍රජාතන්ත්‍රවාදය දිනා දෙන්නෙමු’යි සිතීමද පාරමිතා පූජාවකි.
  
නැගෙනහිර මුදාගැනීමේ උත්කර්ෂවත් සැමරුම්වල වඩදිය රළ බැස ගියා පමණි: උතුරේ ‛ජනයා මුදාගැනීමේ’ බලාපොරොත්තුවෙන් උපන් සන්තුෂ්ඨිය දැන් දුගී දකුණේ පරම ධනය බවට පත්වෙමින් තිබේ.


Sunday, August 3, 2008

ජවිපෙ සහ මර්දනයේ සෙවණැලි


රාවය | 2008 අගෝස්තු 03
.......................................................................................................................................

නීත්‍යානුකූල පිස්තෝලයකින් වෙඩි තබන මර්වින් සිල්වාගේ ගොපළු අවතාරය දැන් යළිත් මතු වී තිබේ. මෙවර රජරටිනි. ගොදුර ජවිපෙනි. ජූලි 27 වෙනිදා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නුවරගල කාර්මික පෙදෙසේ ජනතා විමුක්ති පෙරමුණේ ආධාරකරුවෙකුගේ වෙළඳ සැළකට කඩා වැදුණු මර්වින් සිල්වා සිය මැතිවරණ ව්‍යාපාරය හා සම්බන්ධ ක්‍රියාකාරිකයන්ට තර්ජනය කොට හතර අතේ වෙඩි තැබූ බවට ජවිපෙන් චෝදනා එල්ල වී ඇත. නමුත් තමන් මහවැලි නිවාඩු නිකේතනයෙන් පිටතට අඩියක් නොසෙල්ලූ බව මර්වින් සිල්වා සුපුරුදු පරිදි සහතික කොට කියා සිටියි. නුවරගල කාර්මික පෙදෙසින් මතුව ඇත්තේ අවතාරයක් විය හැක්කේ එබැවිනි.
  
නමුත් ජූලි 27 වෙනිදා රඟදැක්වුණු සංත්‍රාසජනක නාටකය පෙළ ගැසෙමින් ඇති වැදගත් සිද්ධීන් දාමයක් පිළිබඳ තවත් එක් හැඟවුමක් සපයයි. ඒ වනාහී ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කොට ගනිමින් වර්ධනය වන රාජ්‍ය හිංසනය හා බැඳුනකි. ජවිපෙට එරෙහිව ක්‍රමානුකූලව උත්සන්න කෙරෙන රාජ්‍ය හිංසන ක්‍රියාවන්ගේ තීව්‍ර වීමක් ඉකුත් දෙමසක කාලය විසින් පෙන්නුම් කොට තිබේ. අවශ්‍ය නම් මෑත සිදුවීම් ගැන සංක්‍ෂිප්ත ආවර්ජනයක් වුවද, මේ සඳහා ප්‍රමාණවත් සාක්‍ෂි සපයයි.