Print this post
රාවය | 2008 ජූනි 29
.......................................................................................................................................
යුද විද්‍යාවේ ‛උපායික සන්නිවේදනය’ (Strategic Communication) නමින් ලිහිල්ව හැඳින්වෙන විෂය ක්‍ෂේත්‍රයක් තිබේ. තොරතුරු මෙහෙයුම් (Information Operations) සහ මහජන සබඳතා (Public Diplomacy) පිළිබඳ ක්‍රියාකාරකම්ද අඩු වැඩි වශයෙන් එක්කෝ මේ යටතටම ගැනේ - නැතහොත් මීට සමාන්තර විෂයයන් අතරේ ලා සැළකේ. සාමාන්‍ය වශයෙන් සැළකූ කළ යුද ක්‍රියාන්විතයන්ගේ ඉලක්කය සතුරාගේ යුද බලය හා ප්‍රහාරක හැකියාව විනාශ කිරීමයි. නැතහොත් සීමා කිරීමයි. එය සාර්ථක වීම හෝ නොවීම උපක්‍රමික තලයේ ප්‍රශ්නයකි. නමුත් උපායික සන්නිවේදනයේ ඉලක්කය අනෙකකි. එමගින් සතුරු පාර්ශවයේ ආකල්පමය සහ දේශපාලන ශක්තිය ඉලක්ක කොට ගනියි. එය සතුරු පාර්ශවය දේශපාලන වශයෙන් නිරායුධ කිරීම කෙරෙහි ප්‍රමුඛතාව දෙයි. සතුරාගේ බහුජන පදනම් දුබල කොට විසුරුවා හැරීම අරමුණු කොට ගනියි. ඒ සඳහා සැළසුම් කල මහජන සම්බන්ධතා පිළිබඳ ක්‍රියාකාරකම්ද, තොරතුරු මෙහෙයුම්ද, සන්නිවේදන විකාශන සැළසුම්ද ඵලදායී ලෙස සංයෝග කොට භාවිතයට නැගීම මේ යටතේ සිදුකෙරේ. එය සාර්ථක වීම හෝ නොවීම උපාය මාර්ගික තලයේ ප්‍රශ්නයකි.
විග්‍රහයේ පහසුව පැත්තෙන් බැලූ විට මේ පූර්විකාව ප්‍රමාණවත් ය. ඒ අනුව සාමාන්‍යයෙන් යුද ක්‍රියාන්විතයන්ටත්, තොරතුරු මෙහෙයුම් වලටත් ඇත්තේ එක් දිශාවකි. නමුත් ලංකාවේදී එසේ නොවේ. මෙහිදී යුද ප්‍රහාරක සැළසුම් එක් දිශාවකටය. උපායික සන්නිවේදන සැළසුම් තවත් දිශාවකට ය.
දැන් උතුරේ යුද ක්‍රියාන්විතයන් මහා පරිමාණව දියත් කෙරේ. එමගින් ඉලක්ක කොට ඇත්තේ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ යුද හා ප්‍රහාරක හැකියාව බිඳ දැමීමයි. ඒ අනුව සැළසුම් කළ ගොඩබිම් ප්‍රහාරයන්ද, නාවුක මෙහෙයුම්ද, ගුවන් ප්‍රහාරයන්ද දෛනිකව එල්ල කෙරේ. ඒවායේ සාර්ථකත්වය මැනෙන්නේ වර්ග කිලෝ මීටරවලින් සහ මෘත දේහ සංඛ්‍යාවෙනි. කොටි සංවිධානයේ පාලනයේ යටතේ පවතින ප්‍රදේශවල ජීවත්වන දෙමළ ජනයා ගොදුරුවන්නේ මේ ප්‍රහාරක සැළසුම්වලටය. දෛනික පදනමින් ඔවුහුද තුවාල ලබති - මිය යති - අවතැන් වෙති. නමුත් මේ මෙහෙයුම්වලට අදාළ උපායික සන්නිවේදන සැළසුම් ක්‍රියාත්මක වන්නේ වෙනත් දිශාවකටය. ඒවායේ ගොදුර සිංහල ජනයාය. ඒ අනුව යුද මෙහෙයුම් උතුරට ය - සන්නිවේදන මෙහෙයුම් දකුණට ය. දෙමළ ජන සමාජය යුද ක්‍රියාන්විතයන්ට ගොදුරුවන අතර සිංහල ජන සමාජය තොරතුරු ක්‍රියාන්විතයන්ට ගොදුරු වේ. එකක් කායික ගොදුරකි. අනෙක මානසික ගොදුරකි.
මේ සන්නිවේදන මෙහෙයුම් මගින් බෙදාහැරෙන තොරතුරු සිත් ගන්නා සුළුය. එක් කතාවක් මෙබඳුය. ඉකුත් නොවැම්බරයේදී ප්‍රභාකරන් සැඟව සිටි ස්ථානයට බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණ. පළමුව ඔහු සුළු තුවාල ලැබීය. දෙවනුව තුවාල ඔඩුදුවා තත්ත්වය බරපතල විය. තෙවනුව ඔහු ඔත්පලව මරණාසන්න විය. සිව්වෙනුව ජීවිතය බේරීමට කකුලක් කපා දැමිණ. ඉන් අනතුරුව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සිවනේසන්ගේ අවමගුලට නිරුපද්‍රිත ප්‍රභාකරන් දෙපයින් ඇවිද ආවේය. ජීවන බරත්, ආර්ථික දුෂ්කරතාත් ප්‍රභාකරන්ගේ මරණය වෙනුවෙන් හටගත් ආතතියෙන් අමතක කළ දකුණේ ජනයා, අවසානයේ රූපවාහිනි සහ පත්තර පිටු අතරින් මෑත්ව ගෑස් මිලත්, ප්‍රවාහන ගාස්තුත්, විදුලි බිලත් වැඩිව ඇති බව පසක් කරගත්හ.
මේ හා සමාන තවත් කතා බොහෝය. ඉකුත් සය මාසයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය බොහෝමයකට අමුද්‍රව්‍ය වූයේ ඒවාය. ඉන් බොහෝමයක් එක්කෝ අවසාන වී තිබේ. නැතහොත් අවසාන වීමට නියමිතව තිබේ. නමුත් දෛනික ජයග්‍රහණ සහ වේගයෙන් වැහැරී යන සතුරෙක් දකුණට ඕනෑ කර තිබේ. විසිතුරු යුද පුවත් හා ප්‍රවෘත්ති විශේෂාංග අවශ්‍යව ඇත්තේ ඒ සඳහාය. උග්‍රවන ආර්ථික අර්බුදයන් හා කැකෑරෙන මහජන නොසන්සුන්තා දේශපාලනිකව පුපුරා යාම වළකාලිය හැක්කේ එමගින් පමණි.
දෙවන ලෝක මහා සංග්‍රාමය නිමාවේදී නියුරම්බර්ග් නඩු විභාග හමුවේ පෙනී සිටි නාසින්ගේ තෙවැන්නා වශයෙන් සැළකුණුූ හර්මන් ගෝරින් 1946දී මෙසේ කීවේය: ‛‛ඇත්ත වශයෙන්ම ජනතාවට යුද්ධය අවශ්‍ය නැත...නමුත් අවසානයේදී ප්‍රතිපත්ති තීරණය කරනුයේ පාලකයින් විසිනි. හැමවිටම ජනයා ඒ ඔස්සේ ඇදගෙන යාම අතිශය සරළ කරුණකි...ඔබ කළ යුතුව ඇති එකම දෙය ඔවුන් ප්‍රහාරයට ඉලක්කව ඇති බව ඔවුන්ට කීමත්, දේශප්‍රේමයෙන් අඩුවීම හා රට අනතුරට නිරාවරණය කිරීම ගැන සාමවාදීන්ට දොස් පැවරීමත් පමණි. ඕනෑම රටකදී මෙය එක හා සමාන සාර්ථක ප්‍රතිඵල අත්කර දෙයි.’’
එය ඇත්තකි. යුද්ධය තාර්කික චින්තනය සහ විචාර බුද්ධිය පලවා හරියි. එය මාවත හෙළි කරන්නේ අන්ධ ඇදහිල්ලට හා අවිචාරයට ය. ශිෂ්ඨ සම්පන්න සමාජයන් තුළ පිළිගත් ප්‍රජාතාන්ත්‍රික නිර්ණායක වශයෙන් සැළකෙන මානව අයිතීන්ද, නිදහස් ජනමාධ්‍යයන්ද යුද්ධයට ඇබ්බැහි වූ සමාජයන් තුළ කුමන්ත්‍රණ ලෙස දකින්නේ එබැවිනි. සාමය බියජනක දෙයක් බවට පත් කළ විට යුද්ධය අස්වැසිල්ලක් බවට පෙරළේ. මහජන ඡන්දයෙන් තේරී පත් වූ ආණ්ඩුවක් සෞඛ්‍යයට, අධ්‍යාපනයට, සමාජ සුබ සාධනයට, කෘෂිකර්මාන්තයට, ආපදා සහන සේවාවන්ට හා පාරිසරික කටයුතුවලට යන සියල්ලටම රාජ්‍ය වැයෙන් රුපියල් බිලියන 142ක් වැය කොට ආරක්‍ෂාවට රුපියල් බිලියන 166ක් වැය කිරීම කිසිවෙකුට ගැටළුකාරී නොවන්නේ ඒ නිසාය.
නමුත් පැරණි මාවත් හැමවිටම අවසාන වන්නේ පැරණි අන්තයන්ගෙනි.
2008 ජූනි
Print this post
Sunday, June 29, 2008
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment