Sunday, June 15, 2008

පංතියද? ජාතියද?

Print this post


රාවය | 2008 ජූනි 15
.......................................................................................................................................

ඩා වැදගත් ‛පංතියද - ජාතියද’යන්න ගැන මහැදුරු නලින් ද සිල්වා අගනුවර පුස්තකාල ශ්‍රවණාගාරයේදී කරුණු පැහැදිලි කරන්නට නියමිතව තිබුණේ 10 වෙනි අඟහරුවාදා ය. ඒ පෝස්ටර් ඇළවුණු තාප්ප බිත්ති පසුකොට ගමන් කළ උපාධිධාරී රැකියාලාභීන්ගේ විරෝධතා පෙළපාලිය ඒ අඟහරුවාදාවේම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රධාන ප්‍රවේශ ගේට්ටු අවුරා තිබූ මාර්ග බාධක පෙරළාගෙන ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදිණ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා විසින් 12 වෙනි සිකුරාදාවේ ‛ජාතික නිදහස් අරගලයේ අභියෝග’ ගැන මහරගම තරුණ මධ්‍යස්ථානයේදී හෙළිකරන්නට නියමිතව තිබියදී, ජවිපෙ සමාජවාදී ගොවි සංගමය කැඳවීමෙන් 10 වෙනිදා කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට අමුඩ කෙටියෙන් සැරසී රොක් වූ ගොවි ජනයා සහනාධාර කප්පාදුවට සහ වැඩිවන ජීවන බරට එරෙහිව පත්‍රිකා බෙදූහ. ජවිපෙ සමාජවාදී කම්කරු සංගමයේ නායක කේ.ඩී.ලාල්කාන්ත ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විමධ්‍යගත අරමුදලින් සිංහපුර, ජානකපුර, වැලිඔය, යකාවැව, මහවිලච්චිය, තන්තිරිමලේ ඇතුලු රජයේ හමුදා කඳවුරු ගණනාවකට සුබසාධන පහසුකම් සපයා දුන් බව ජවිපෙ ‛ඉරිදා ලංකා’ පුවත්පතෙහි 08 වෙනිදා කලාපය වාර්තා කර තිබිණ. ඒ අතරවාරයේ ජවිපෙ සමාජවාදී කාන්තා සංගමය විසින් කැඳවන ලද ස්ත්‍රීහු ජීවන වියදම අඩු කරන්නට බලකරමින් 11 වෙනිදා මධ්‍යහ්නයේදී ගෑස් සිලින්ඩර ඔසවාගෙන අගනුවර දෙවනත් කළහ.

දැන් වේදිකා සහ පත්තර පිටුවල ‛ජාතික අරගලය’ ඇවිල යද්දී වීදිවල පංති අරගලයේ ගිනි පුපුරු දිදුලන්නට පටන්ගෙන ඇති සෙයකි.


2008 අවුරුද්දේ අප්‍රේල් මුල් සතියේදී රජයේ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්තාවට අනුව මාර්තු මාසය සඳහා වන නිල දරිද්‍රතා රේඛාව රුපියල් 2,886කි. එනම්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා තක්සේරු කර ඇති අවම මාසික ඒක පුද්ගල වැයයි. නමුත් නිල වාර්තාවන්ට අනුවම ජනගහණයෙන් හතළිස් ලක්‍ෂයක් හෙවත් පහෙන් එකක් ජීවත් වන්නේ මෙම නිල දරිද්‍රතා රේඛාවට පහළිනි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම අන්ත දිළින්දන්ගේ ප්‍රමාණය දිස්ත්‍රික් ජනගහණයෙන් 6%ක් වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ මෙම ප්‍රමාණය 37%කි. ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමයේ ඉකුත් වසරේ වාර්ෂික සැසිය අමතමින් කතාකළ මහාචාර්ය ඒ.ඩී.වී.ද එස්.ඉන්ද්‍රරත්නට අනුව ජනගහණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දවසකට උපයන්නේ ඩොලර් 2කට අඩුවෙනි. ඒ අනුව සමාජ පතුලේම සිටින දහයෙන් පංගුවක් ජනයාට සමස්ත ජාතික ආදායමින් 1.7%ක් හිමිවෙද්දී, ඉහළම මුදුනේ දහයෙන් පංගුව 37.4%කට හිමිකම් කියයි. මහාචාර්ය ඉන්ද්‍රරත්නට අනුව ජනගහණයෙන් හතරෙන් එකකට විදුලි බලය නැත. 5.6%කට වැසිකිලි සහ සනීපාරක්‍ෂක පහසුකම් නැත.
  
ගැඹුරුවන නරකාදිය පිළිබඳ කරුණු කාරණා තවත් දිග්ගැසිය හැකිය. ලෝක ආහාර වැඩසටහන විසින් දිස්ත්‍රික් 15ක් මුල්කොටගෙන 2007 අගභාගයේ පැවැත් වූ සමීක්‍ෂණයක ප්‍රතිඵලයන්ට අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් අතර මන්ද පෝෂණ ප්‍රතිශතය 23%කි. හම්බන්තොට 22.9%කි. මාතලේ 19%කි. රත්නපුර 17%කි. ඌව පළාත පමණක් වෙන්කොට සැළකූ විට නිරක්තියෙන් පෙළෙන ගර්භනී මව්වරුන්ගේ ප්‍රමාණය 42.5%කි. සබරගමුවේ එය 37%ක් වන විට එය උතුරුමැද පළාතේ 29.5%කි. වඩාත් නරකම තත්ත්වයේ පසුවන වතුකරයේ මව්වරු අතර එම ප්‍රතිශතය 49%කි.
   
නමුත් මේ නරකාදියේ කාර්ය කටයුතු කළමනාකරණය සහ නඩත්තුව පිණිස ආසියාවේ විශාලතම ඇමති මඩුල්ල ලංකාවට ලැබී තිබේ. ඒ අනුව ආණ්ඩුවේ ඇමති මඩුල්ල 107 දෙනෙකි. ඉන් 53 දෙනෙක් රුපියල් 65,000ක් බැගින් අවම  මාසික වැටුපක් ලබන කැබිනට් ඇමතිවරුන්ය. ඉතිරිය, රුපියල් 63,500ක අවම වැටුපකට හිමිකම් කියන කැබිනට් නොවන සහ නියෝජ්‍ය ඇමතිවරුන්ය. මේ වැටුප් තල වනාහී ගෙවල් කුලී, ජල, විදුලි, දුරකථන සහ ඉන්ධන වියදම් වශයෙන් ගෙවනු ලබන දීමනාවන්ට අමතර වශයෙනි. මේ අනුව දළ වශයෙන් ගණනය කළහොත් ජනගහණයෙන් සෑම 375,000කටම කැබිනට් ඇමතිවරයෙක් සිටියි. සෑම 186,000කටම කවර හෝ මට්ටමේ ඇමතිවරයෙක් සිටියි. නමුත් ජනගහණයෙන් 1800කටම සිටින්නේ එක් වෛද්‍යවරයෙකි.
  
ප්‍රශ්නය මෙයයි: අවුරුදු 5ට අඩු දරුවන්ගෙන් 19.4%ක් අඩු බරින් යුතු වීම ‛ජාතික නිදහස් අරගලයේ අභියෝගයක්ද? පංති යථාර්ථයක්ද? ළමුන්ගෙන් 30%ක් යකඩ ඌනතාවයෙන් හටගන්නා රක්ත හීනතාවයෙන් පෙළීම ජාතික ඉරණමක්ද? පංති යථාර්ථයක්ද? 1948 වන විට ලක්‍ෂයකට 9ක්ව තිබූ දිවි නසාගැනීම් අනුපාතය 60 අවුරුද්දක් ඇතුළත සිව් ගුණයකින් ඉහළ නැග දකුණු හා ගිණිකොණ දිග ආසියාවේ ඉහළම දිවිනසාගැනීම් අනුපාතය බවට පෙරළී ඇත්තේ ජාතික හේතුවකින්ද? පංති හේතුවකින්ද? උතුරු-නැගෙනහිර යුද පෙරමුණුවලින් වලින් පැටවෙන මෘත දේහ වැඩි වශයෙන් වයඹ, දකුණු සහ උතුරු මැද පළාත් කරා ළඟාවීම විසින් හෙළි කරන්නේ ජාතිකානුරාගය පිළිබඳ යථාර්ථයක්ද? පංති යථාර්ථයක්ද?
  
1908 මැයි මාසයේදී ‛පුරවැසිභාවය සහ අධ්‍යාපනය’ පිළිබඳ කතා කරමින් කීර්තිමත් ඇමරිකානු උපහාස කතා රචක මාක් ට්වේන් මෙසේ කීවේය: ‛‛දේශප්‍රේමය බොහෝ විට තක්කඩියාගේ රැකවරණයයි. වැඩියෙන්ම ශබ්ද නගා කතා කරන්නේ ඔහු විසිනි.’’

අප වටලාගත් සාගින්න, යුද බිය සහ ලෙඩ - දුක් වසංගත පංති යථාර්ථයකි. ඒවායේ ගොදුරු බවට පත් වන්නේ පීඩිතයින්ය. ඒ ඇත්ත අපට උගන්වන්නේ නලින් ද සිල්වා ආචාර්යවරයාගේ හෝ ටිල්වින් සිල්වා සහෝදරයාගේ මාසික දේශන මාලාවලින් නොව, දවසකට රුපියල් 20කට අඩුවෙන් උපයන විසි ලක්‍ෂයක් දිළින්දන් විසිනි. සෑම පස් දෙනෙකුටම එක් අයෙක් බැගින් ලේ හිඟකමින් පෙළෙන දිළිඳු මව්වරුන් විසිනි. සතියක් පාසාම බැටන් පහර කමින් අගනුවර වීදි දෙවනත් කරන රැකියා විරහිතයින්ගේ, කම්කරුවන්ගේ, ගොවීන්ගේ, ස්ත්‍රීන්ගේ හා සිසුන්ගේ නොපසුබස්නා සටන්කාමය විසිනි.

2008 ජූනි

Print this post

0 comments:

Post a Comment