Sunday, March 4, 2007

කුහුඹුවන් වූ මිනිසුන්


මව්බිම | 2007 මාර්තු 04
.......................................................................................................................................

යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත නොහෙන කුරා කුහුඹුවෙකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? අප බොහෝ දෙනා ඊට පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප්‍රශ්නය මුහුණට දමා ගැසූ  සමයකදී ය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවෙකු නොදනී. නමුත් මිනිසුන් එය දනියි. එය අමතකව ගිය සැණින් රැළෙන් මග නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවෙකු බවට පෙරළෙයි. රැළ හා වසන මුත් පෑගී මියයාමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.
  
අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.
  
1991 අවුරුද්දේ ඔක්තෝබරයේ උදෑසනක නුගේගොඩ ගම්සභා හන්දියට නුදුරු තැනකදී මට අලුත් මිතුරන් දෙදෙනකු මුණ ගැසිණ. ඒ ‛ලක්දිව’ පත්තරය ආරම්භ කිරීම සඳහා විනී හෙට්ටිගොඩගේ නිවසේ කැඳවුණු පළමු කර්තෘ මණ්ඩල හමුවයි. නව අපේක්‍ෂාවන්ගෙන් ඇවිළුණු මිනිසුන් ඒ වහළ යට නිතර ගැවසිණ. එතැන් සිට එළඹුණු සමයක  ජීවිතය පිළිබඳ සියළු අපේක්‍ෂාවන් බෙදා ගැණුනේ ඒ මිතුරන් සමගය. ඉන් අයෙක් විමල් වීරවංශ ය. අනෙකා ඩලස් අලහප්පෙරුම ය.