මව්බිම | 2007 පෙබරවාරි 21
.......................................................................................................................................
සිව් අවුරුද්දකට පෙර ගාසා තීරයේ පලස්තීන ගේ දොර සමතලා කරන්නට මෙහෙයවුණු දැවැන්ත ඊශ්‍රායෙල ඩෝසරයක් ඉදිරිපිට විසි තුන් හැවිරිදි ඇමරිකානු ගැහැණියක් සිටගෙන සිටියාය. ඒ 2003 වසරේ මාර්තුවේ සෞම්‍ය කාන්තියෙන් නිවී යන සන්ධ්‍යාවකි. ඒ සන්ධ්‍යාව එළඹෙන විට ඇය ගැන දැන සිටි කිසිවෙකු ලොව නොවූ තරම්ය. නොදන්නා බිමක, නොදන්නා මිනිසෙකුගේ දුක්ඛිත ඉරණමට එරෙහිව එසවුණු මිනිස් හෘදය සාක්‍ෂියේ සදාතන ධජයක් ඒ මොහොතේ වී නම්, ඒ ඇය බව ඇයම නොදැන සිටියා වන්නට ඇත. ඊශ්‍රායෙල ඩෝසරයක් සහ නිරායුධ පලස්තීන පවුලක් අතර ඉතිරිව තිබුණු කෙටි දුර අතරමැද සිටගත් නන්නාඳුනන තුරුණු කෙසඟ ගැහැණියක් ඒ ඉඩෙහි මිනිස් ඉතිහාසය නැවත ලියුවාය. එය ගොල්ගොතාවේදී කුරුසගත වනතෙක්ම මිනිස් ප්‍රේමය දේශනා කළ නිහඬ මිනිසෙකු විසින් ලියන ලද පරිච්ඡේදයේම කොටසකි. එය බොලීවියාවේදී වෙඩි තබා බිම හෙළන තෙක් නිදහස පිළිබඳ සිහින අත් නොහළ සරළ මිනිසෙකු විසින් ලියන ලද පරිච්ඡේදයේම කොටසකි.
ඇය රේචල් කොරී ය.
ඊශ්‍රායෙල ඩෝසරයකින් යටකොට ඇට මිදුළු බිඳ දමන තෙක්ම නොදන්නා පලස්තීනුවෙකුගේ ජීවත්වීමේ අයිතිය පැත්තෙහි නොසෙල්වී සිටගෙන සිටි නිරායුධ ඇමරිකානු සරසවි සිසුවියකගේ අවසාන මොහොත සටහන් වූ සේයා රූ පෙළ ගින්දරක් මෙන් ලොව පුරා පැතිර ඇවිළිණ. අපි එය ‛හිරු’ පත්තරයෙහිද පළ කළෙමු. මිනිස් නිදහස කෙරෙහි වන අචල පක්‍ෂපාතීත්වය මරණීය කුරුසයක් විය හැකි බව කලකට පසු මා යළිත් උගත්තේ ඒ සේයා රූ පෙළෙනි. එයින් සිව් වසරකට පසු මේ ලියන සෑම අකුරකම ඇගේ සුන්දර ආත්මයෙහි ගැබ් වූ ගිනිදැල් සැඟව තිබෙන බව මම දනිමි.