Sunday, March 4, 2007

කුහුඹුවන් වූ මිනිසුන්


මව්බිම | 2007 මාර්තු 04
.......................................................................................................................................

යුක්තිගරුකභාවය පිළිබඳ මිනිස් අපේක්‍ෂාවන් ශූන්‍යව ගිය කලක කිසිත් කරකියා ගත නොහෙන කුරා කුහුඹුවෙකුගෙන් මිනිසා වෙනස් වන්නේ ඇයි? අප බොහෝ දෙනා ඊට පිළිතුරු උගත්තේ ඉතිහාසය විසින් මේ ප්‍රශ්නය මුහුණට දමා ගැසූ  සමයකදී ය. යටත්භාවය මහාමාරියක් මෙන් පැතිර යමින් ඇති විට පවා ප්‍රතිපත්තිගරුක ජීවිතය ආඩම්බරයකැයි කුහුඹුවෙකු නොදනී. නමුත් මිනිසුන් එය දනියි. එය අමතකව ගිය සැණින් රැළෙන් මග නොහැරුණද මිනිසා හුදකලා කුහුඹුවෙකු බවට පෙරළෙයි. රැළ හා වසන මුත් පෑගී මියයාමේ තැති ගැන්මෙන් එකා පසුපස එකා වැටී සැරිසරයි.
  
අපේ මෑතකාලීන අතීතය යනු කුහුඹුවන් බවට පෙරළුණු මිනිස් මිතුරන් පිළිබඳ මතකයකි.
  
1991 අවුරුද්දේ ඔක්තෝබරයේ උදෑසනක නුගේගොඩ ගම්සභා හන්දියට නුදුරු තැනකදී මට අලුත් මිතුරන් දෙදෙනකු මුණ ගැසිණ. ඒ ‛ලක්දිව’ පත්තරය ආරම්භ කිරීම සඳහා විනී හෙට්ටිගොඩගේ නිවසේ කැඳවුණු පළමු කර්තෘ මණ්ඩල හමුවයි. නව අපේක්‍ෂාවන්ගෙන් ඇවිළුණු මිනිසුන් ඒ වහළ යට නිතර ගැවසිණ. එතැන් සිට එළඹුණු සමයක  ජීවිතය පිළිබඳ සියළු අපේක්‍ෂාවන් බෙදා ගැණුනේ ඒ මිතුරන් සමගය. ඉන් අයෙක් විමල් වීරවංශ ය. අනෙකා ඩලස් අලහප්පෙරුම ය. 


Sunday, February 11, 2007

බූස්ස සහ මව්බිම පාවාදීම


මව්බිම | 2007 පෙබරවාරි 21
.......................................................................................................................................

සිව් අවුරුද්දකට පෙර ගාසා තීරයේ පලස්තීන ගේ දොර සමතලා කරන්නට මෙහෙයවුණු දැවැන්ත ඊශ්‍රායෙල ඩෝසරයක් ඉදිරිපිට විසි තුන් හැවිරිදි ඇමරිකානු ගැහැණියක් සිටගෙන සිටියාය. ඒ 2003 වසරේ මාර්තුවේ සෞම්‍ය කාන්තියෙන් නිවී යන සන්ධ්‍යාවකි. ඒ සන්ධ්‍යාව එළඹෙන විට ඇය ගැන දැන සිටි කිසිවෙකු ලොව නොවූ තරම්ය. නොදන්නා බිමක, නොදන්නා මිනිසෙකුගේ දුක්ඛිත ඉරණමට එරෙහිව එසවුණු මිනිස් හෘදය සාක්‍ෂියේ සදාතන ධජයක් ඒ මොහොතේ වී නම්, ඒ ඇය බව ඇයම නොදැන සිටියා වන්නට ඇත. ඊශ්‍රායෙල ඩෝසරයක් සහ නිරායුධ පලස්තීන පවුලක් අතර ඉතිරිව තිබුණු කෙටි දුර අතරමැද සිටගත් නන්නාඳුනන තුරුණු කෙසඟ ගැහැණියක් ඒ ඉඩෙහි මිනිස් ඉතිහාසය නැවත ලියුවාය. එය ගොල්ගොතාවේදී කුරුසගත වනතෙක්ම මිනිස් ප්‍රේමය දේශනා කළ නිහඬ මිනිසෙකු විසින් ලියන ලද පරිච්ඡේදයේම කොටසකි. එය බොලීවියාවේදී වෙඩි තබා බිම හෙළන තෙක් නිදහස පිළිබඳ සිහින අත් නොහළ සරළ මිනිසෙකු විසින් ලියන ලද පරිච්ඡේදයේම කොටසකි.
  
ඇය රේචල් කොරී ය.
  
ඊශ්‍රායෙල ඩෝසරයකින් යටකොට ඇට මිදුළු බිඳ දමන තෙක්ම නොදන්නා පලස්තීනුවෙකුගේ ජීවත්වීමේ අයිතිය පැත්තෙහි නොසෙල්වී සිටගෙන සිටි නිරායුධ ඇමරිකානු සරසවි සිසුවියකගේ අවසාන මොහොත සටහන් වූ සේයා රූ පෙළ ගින්දරක් මෙන් ලොව පුරා පැතිර ඇවිළිණ. අපි එය ‛හිරු’ පත්තරයෙහිද පළ කළෙමු. මිනිස් නිදහස කෙරෙහි වන අචල පක්‍ෂපාතීත්වය මරණීය කුරුසයක් විය හැකි බව කලකට පසු මා යළිත් උගත්තේ ඒ සේයා රූ පෙළෙනි. එයින් සිව් වසරකට පසු මේ ලියන සෑම අකුරකම ඇගේ සුන්දර ආත්මයෙහි ගැබ් වූ ගිනිදැල් සැඟව තිබෙන බව මම දනිමි.


Sunday, February 4, 2007

නිදහස ගැන කේන්තියෙනි


මව්බිම | 2007 පෙබරවාරි 04
.......................................................................................................................................

නිදහස හැට වසරකට වඩා අවුරුද්දක් බාලය. ඒ නිදහසේ පනස් නව අවුරුද්දට ලංකාව දිනූ ප්‍රගතිය නන්විධය. සෙසු කාරණා සියල්ල පසෙකින් තැබුවද ලංකාව අංග ලක්‍ෂණ දෙකකින් බොහෝ රාජ්‍යයන් අභිබවා දැන් ඉදිරියෙන් හිඳියි. පළමුවැන්න ආරක්‍ෂණ වියදම සහ හමුදාවන්ගේ වර්ධනය අතිනි. දෙවැන්න, ඇමති මඩුල්ල හා කැබිනට් මණ්ඩලය අතිනි.
  
මිලියන තුන්සියයක් ජනයා වෙසෙන එක්සත් ජනපදයේ කැබිනට් මණ්ඩලය 21කි. මිලියන 82ක ජනගහණයක් සහිත ජර්මනියේ කැබිනට් මණ්ඩලය 16කි. ප්‍රංශයේ ජනයා මිලියන 62කි. ඇමති මඩුල්ල 21කි. දකුණු ආසියාව ගත්තද වෙනසක් නැත. පකිස්ථානයේ ජනගහණය මිලියන 168කි. ඇමතිවරු16කි. මිලියන 152ක් වන බංග්ලාදේශයේ ඇමතිවරු 35කි.  නේපාලයේ ජනයා මිලියන 26කි. ඇමතිවරු 16කි. ඉන්දියානු ජනගහණය බිලියන 1.1කි. සමස්ත ඇමති මණ්ඩලයම 73කි. මිලියන 20ක ජනගහණය සහිත ලංකාවේ දැන් කැබිනට් මණ්ඩලය පමණක් 53කි. සමස්ත ඇමති මණ්ඩලයම ගතහොත් 105 දෙනෙකි.


Sunday, January 21, 2007

පලවා හැරීමෙන් අයිතීන් සුරැකීම


මව්බිම | 2007 ජනවාරි 21
.......................................................................................................................................

වාකරෛ 15,000ක් ජනයා හාමතෙනි. ගංවතුරින් සහ වසංගත රෝ බියෙන් කොටු වී ගත් වැඩිමහල්ලන් සහ ළමා ළපටින් අත්‍යවශ්‍ය ඖෂධ හිඟයෙන්ද, ආහාර අහේනියෙන්ද පරිපීඩිතය. කරඩික්කුලම්, කල්ලාර් සහ වාලච්චේනෛ රජයේ හමුදා කඳවුරු වල සිට එල්ල කෙරෙන දෛනික කාල තුවක්කු ප්‍රහාරයන්ද,  ගුවන් හමුදාවේ කෆීර් ප්‍රහාරක යානාවන්ගෙන් හෙළන බෝම්බ වැසිද ඊට අමතර වශයෙනි. ගුවන් බෝම්බ ප්‍රහාරයන්ගෙන් අත පය විසුණු වූ දරුවෝ අවම පහසුකම් හෝ නැති වාකරෛ් රෝහලේ තැන තැන වැතිර සිටිති. රජයේ ගුවන් හමුදාවන්ගේ කෆීර් යානා හඬින් බියපත් කෙරෙන වාකරෛ ජනයා සිය දරු සිඟිත්තන් කැටුව අගල් තුළට රිංගා දිවි ගළවාගනිති.
  
ඒ හමුදාවෝම රට මැද නාය යෑම් සහ ගංවතුරින් ගේ දොර අහිමිව අනාථ වූ ජනයා බේරාගැනීමේ සහන සේවා මෙහෙයුම් දියත් කරති. නායයෑම් හේතුවෙන් ළමා ළපටින් සමඟ කොටු වී සාගිනි උසුළන දකුණේ ජනයාට ඒ ගුවන් හමුදාවේම හෙළිකොප්ටර් යානා හඬ සැනසුම් සුවය ගෙන එයි. රට මැද අවතැන් වූ 30,000ක් ජනයා අතරට ගුවන්  බෝම්බ සහ කාලතුවක්කු ප්‍රහාර එල්ල වුවහොත් තත්ත්වය කෙබඳු වේදැයි කිසිවෙක් කල්පනා නොකරයි.


Sunday, January 14, 2007

අවතාරයක් බඳු ඉතිහාසය


මව්බිම | 2007 ජනවාරි 14
.......................................................................................................................................

නවාරි 09 වෙනිදා පාර්ලිමේන්තුවේ හදිසි නීතිය වැඩි ඡන්ද 79කින් සම්මත විය. විවාදයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ‛අපි හදිසි නීතියට පක්‍ෂව ඡන්දය පාවිච්චි කරන්නේ ත්‍රස්තවාදයට විරුද්ධව යොදාගැනීම සඳහා පමණක්’ බව අවධාරණය කළේය. ඒ අතරවාරයේ ජවිපෙට අනුබද්ධ සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් මරදානේ ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපිටට කැඳවා තිබූ උද්ඝෝෂණයට සහභාගී වූ ලංගම සේවකයින්ට කැරළි මර්දන පොලිසිය සහ ශ්‍රී ලංකා යුද හමුදා බල ඇණි විසින් එළව එළවා පහර දෙන ලදී. ‛නීති විරෝධී ඒකරාශීවීම් විසුරුවා හැරීමට’ සන්නද්ධ හමුදාවන්ට බලය සපයන හදිසි නීතියට පක්‍ෂව ඊට මොහොතකට පෙර ඡන්දය දුන් ජවිපෙ මන්ත්‍රී පියසිරි විජේනායක, පහර කෑ කම්කරුවන් අතරට පැමිණ  ‛කම්කරුවන්ගේ ඡන්දයෙන් බලයට ආපු ආණ්ඩුව අද කම්කරුවන්ට පහර දුන්නා. මේකද ප්‍රජාතන්ත්‍රවාදය’යැයි ඇසූ බව 10 වෙනිදා ‛දිවයින’ පත්‍රය වාර්තා කළේය. ප්‍රහාරය පිළිබඳ වූ ‛දිවයින’ වාර්තාවේ මෙසේ දැක් වේ:
  
‛‛පොලිස් නිළධාරීන් සහ හමුදා නිළධාරීන් බැටන් පොලු, තුවක්කු හා දිගු දඬුවලින් උද්ඝෝෂකයන්ට පන්න පන්නා පහර දුන් අතර උද්ඝෝෂකයෝ පිරිසක් පහර කාගෙනම ප්‍රවාහන අමාත්‍යාංශය තුළට ඇතුළු වූහ. මෙහිදී ප්‍රවාහන අමාත්‍යංශය තුළ සිට එළියට පැමිණි සිවිල් ඇඳුම් ඇඳගත් මැර පිරිසක්ද උද්ඝෝෂකයන්ට පහර දෙන්නට පටන් ගත්තේ පොලිස් නිළධාරීන් බලා සිටියදීය. ඇතැම් පොලිස් නිළධාරීන් සහ හමුදා නිළධාරීන් තුවක්කු බඳෙන්ද උද්ඝෝෂකයන්ට පහර දුන් අතර පහර කා වැටුණු උද්ඝෝෂකයන්ටද පහර දුන්හ....සිද්ධියේදී තම සාමාජිකයන් පහළොස් දෙනෙකු තුවාල ලැබූ බවත් හතර දෙනෙකුගේ තුවාල බරපතල බවත්, තවත් විශාල පිරිසක් පහර කා ඇති බවත් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ සභාපති එච්.කේ.ජයරත්න මහතා පැවසීය. ඇතැමුන්ගේ අත් පා කඩා ඇති අතර ඔලු පලා ඇතැයිද හෙතෙම චෝදනා කළේය...’’


Sunday, January 7, 2007

අත්වැරදීම් සහ සමූහ ඝාතන


මව්බිම | 2007 ජනවාරි 07
.......................................................................................................................................

2006 ජනවාරි පළමුවැනිදා මනුෂ්‍යත්වය සහ සමානත්වය පිළිබඳ සුභාශිංසන වැසි වැස්සේය. දෙවැනිදා ත්‍රිකුණාමලයේ ඩොක්යාඩ් පාරේදී රජයේ ආරක්‍ෂක අංශ විසින් තරුණ ශිෂ්‍යයන් පස් දෙනෙක් බිම දණ ගස්වා හිසට වෙඩි තබා මරා දමන ලදී. 2007 ජනවාරි පළමුවෙනිදා යළිත් සාමය සහ සහජීවනය පිළිබඳ රමණීය පණිවුඩ වැස්සකි. දෙවැනිදා මන්නාරමේ දිළින්දන්ගේ හිස් මතට ගුවන් ප්‍රහාර වැස්සකි. මේ ලියන මොහොත වන විට ප්‍රහාරයෙන් මිය ගොස් ඇති සිවිල් වැසියන් සංඛ්‍යාව 16කි. ඉන් හත් දෙනෙක් අවුරුදු 09ට අඩු දරුවන්ය.
  
ත්‍රීකුණාමලයේ ශිෂ්‍ය ඝාතනය පිළිබඳ යුක්තිය පසිඳලීම කෙබඳු වීද? ශිෂ්‍යයන් මිය ගියේ හමුදා කණ්ඩායමකට අත් බෝම්බයක් එල්ල කරන්නට යාමේදී එය පුපුරා යාමෙන් බව ආණ්ඩුව කීවේය. ආණ්ඩුවේ ප්‍රකාශයට අභියෝග කළ ‛සුඩර්ඔලි’ පත්‍රයේ ත්‍රීකුණාමලයේ වාර්තාකරු සුහීර්තරාජන්, ශිෂ්‍යයන් මරා දැමුණේ ළඟ සිට හිසට එල්ල කළ වෙඩි ප්‍රහාරයන්ගෙන් බව ඡායාරූප සාක්‍ෂි සහිතව ලියා ඔප්පු කළේය. පිළිතුරු වශයෙන් සති තුනක් ඇතුළත දී සුහීර්තරාජන්ගේ හිසට වෙඩි තබා මරා දැමිණ. තීන්දුව ප්‍රකාශ වූයේ එයින් පසුවය. ඒ අනුව ශිෂ්‍ය ඝාතන පුවත බොරුවකි. එය බොරුවක් වන්නේ ශිෂ්‍යයන්ගේ ශරීරවල තිබී සොයාගත් උණ්ඩ, චූදිත සෙබලුන්ගේ අවිවලට නිකුත් කරන ලද උණ්ඩ නොවූ බැවිනි.