Print this post
මව්බිම | 2006 නොවැම්බර් 26
.......................................................................................................................................
උදය කුමාර රණතුංග සහෝදරයා ගැන මේ සටහනෙහි ලියන ලද්දේ දෙසතියකට කලිනි. මහර බන්‍ධනාගාරයේදී ඝාතනය කළ රණතුංගගේ මළගම දා කඩවත සූරිගමට රැස්වූ රණේ දැන සිටි බොහෝ දෙනා ඔහු ගැන විවෘතව යමක් කියන්නට බිය වූහ. රණේ මුහුණදුන් බිහිසුණු මරණය විසින් ඇති කළ බිය ඊට හේතු වූවා විය හැක. නොඑසේ නම් රණේ සිරගත වන්නට බල පෑ කාරණය ඊට හේතු වූවා විය හැක. කවරක් වුවද අවමංගල සභාව අමතන්නට ඉදිරිපත් වන්නැයි කෙරුණු ඉල්ලීම් බොහෝවුන් මගහැර ගියහ. රණේ දැන සිටි බහුතරයක් දෙනාගේ මගහැර යාම් මැද්දේත් නැගී සිට ‛රණේ අපරාධකරුවෙක් නොවේ, ඔහු අනාගත වීරයෙක්’ බව කියන්නට හයිය තිබුණේ එක මිනිසෙකුටය. නිවැරදි දේ සඳහා සුළුතරයෙන් එකෙක් වීමේ ආඩම්බරය උපට උගන්වා දුන් ඒ මිනිසා මේ මළවුන්ගේ මාසයේදී අප හැර ගියේය.
ඒ අජිත් සමරනායක සහෝදරයාය.
අසූව දශකය ලංකාවේ අවසාන විචාරශීලී දශකයයි. ඒ විචාරශීලීත්වය පණ පෙවූවන් අතර අජිත් ප්‍රමුඛයෙකු විය. දේශපාලනික සහ සමාජ විවරණයන්ද, සාහිත්‍ය කලා සහ සෞන්දර්‍ය විචාරවේදයන්ද ඔස්සේ ඔහු සැපයූ දායකත්වය දීප්තිමත් එකකි. විශේෂයෙන්ම ‛දි අයිලන්ඩ්’ පුවත්පතෙහි ස්වර්ණමය යුගය නිර්මාණය කරන ලද්දේ විජිත යාපා සහ අජිත් සමරනායක වැන්නන් විසිනි. ජාතිකවාදය එවකට සංවාදවල බලවත් සංඝටකයක් වූ බව සැක නැත. නමුත් මිනී මාංශ භක්‍ෂණයෙන් තොර බුද්ධිමය අඩංගුවක් එහි තිබිණ. ජාතික චින්තන විවාදයන්ද, විකල්ප සමාජ මාදිලීන් පිළිබඳ මත ගැටුම්ද, දේශපාලන සහ සංස්කෘතික සැකසුම් පිළිබඳ සංවාදයන්ද ඒවායේ ඵලයන්ය. අජිත් එකී සමාජ සංවාදයන් තුළ ප්‍රබල සළකුණකි.
අසූව දශකය ඇරඹුණේ දකුණේ සටන්කාමී වෘත්තීය සමිති ව්‍යාපාරයේ පරාජයෙනි. එය ගලා ගිය උතුරේ සන්නද්ධ ඊළම් අරගලයේ වැඩී ඒම හරහාය. එය නිමා වූයේ දකුණේ සහ උතුරේ සමූල මිනිස් සංහාරයන්ගෙනි. බර්ලීන් තාප්පයේ බිඳ වැටීමත්, ගොර්බෂෙවියානු පරමාදර්ශයන් දිය වී යාමත් යහපත් සහ විකල්ප සමාජයක් ගැන පෘථුවිය පුරා මිනිස් විශ්වාසයන් සොළවා දැමීය. අසූවේ දශකයේ නිමාවත්ම බොහෝවුන්ගේ සිතීමේ සිතිජයන් ඇහිරී තිබුණේ මිනී කඳු ගහණ ඛේදයන්ගෙනි. දාර්ශනික සර්ව අශුබවාදයන්ගෙනි. ගෙවී ගිය දශකයේ වීරයින් බොහෝ දෙනා එළඹි නව දශකයේදී දියව ගියහ. අජිත් වඩ වඩාත් මීවිතටම ලොල් විය. නමුත් ඔහු තුළ වූ විචාරශීලී මිනිසා නොමළේය.
වාම ලෝක දැක්ම නැවත සළකා බැලීම පිළිබඳ පුළුල් කතිකාවක් ගොඩනැංවිය හැකිදැයි යන්න ගැන 2001 අවුරුද්දේ අවසාන භාගයේදී අපි සාකච්ඡා කළෙමු. මෝදර එළි හවුස් පාරේ කුමුදු කුසුම් කුමාරගේ නිවසේත්, අලුත් මාවතේ හිරු කාර්යාලයේත් වරින් වර රැස්වූ අපි දබර කරමින් ඒ ගැන සැළසුම් සකස් කළෙමු. අජිත් සමරනායක අපගේ පෞද්ගලික මිතුරෙකු බවට පත් වූයේ එසමයේය. ඔහු ඒ අවිධිමත් සාකච්ඡා සඳහා නොකඩවා පැමිණියේය. දීර්ඝ සහ ඇතැම් විට නීරස සාකච්ඡා සඳහා උද්‍යෝගීමත් ලෙස දායක විය. සමුළුවේ තේමාව වශයෙන් ‛වම: නැවත සළකා බැලීමක්’ යන්න යෝජනා කරන ලද්දේ ඔහු විසිනි. ඔහුගේ ද්වී භාෂා හැකියාවන්ගේ දීප්තිමත් දායකත්වය ඔහු ඊට නොපැකිළව ලබා දුන්නේය. සමුළුව සඳහා ලිඛිත දායකත්වය ඉල්ලා සකස් කරන ලද විවෘත ඇරයුම කෙටි විශ්ලේෂණාත්මක ලියැවිල්ලකි. එය සිංහල බසින්ද, ඉංග්‍රීසි බසින්ද ලියන ලද්දේ ඔහු විසිනි. වෙනස් ගැටළු සහ ගැටුම් හේතුවෙන් සමුළුවේ කාර්යයන් අතරමඟ ඇණ සිටියේය. නමුත් අජිත් හා ලියලා ගිය මිත්‍රත්වය නොනැසී පැවතිණ.
2002 යාපනයේදී අජිත්ගේ සමකාලීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ඒ.ජේ.කණගරත්න හමුවූ විටක ඔහු අජිත් ගැන විමසීය. ගැළවී ගත නොහැකි ලෙස මී විතට ඇබ්බැහිව සිටි ඒ.ජේ. ‛අජිත් තවමත් බොනවාදැයි’ විමසීය. අපි සිනහසීමු. 2002 බීමත්කමින් රෝගාතුරව රෝහල්ගතව සිටි අජිත් බලන්නට ගිය විටක අපි ඒ.ජේ. ගැන අජිත්ට කීවෙමු. නාරාහේන්පිට උද්‍යාන පාරේ පෞද්ගලික වාටුට්වක ඇඳෙහි වැතිරී ඇඩර්නෝගේ The Culture Industry පොත කියවමින් සිටි අජිත්ගේ සෝබර රුව මතකයේ දැනුදු සුරැකිව තිබේ. තවදුරටත් නොබොන්නෙමැයි ඔහු සිනහසෙමින් අප හා කීය. ඉන් මතුද ඉඳ හිට ‛හිරු’ කාර්යාලයට ගොඩවන විටක ඔහු ඒ ප්‍රතිඥාව අලුත් කළේය. නමුත් ඉන් ගැළවෙනු වෙනුවට ඔහු වඩ වඩාත් මී විතෙහිම ගිළුණි.
2003 මතභේදාත්මක සිහල-දමිල කලා උළෙලේ අනපේක්‍ෂිත ගැටුම් හේතුවෙන් සසළ වූ ආරාධිත දෙමළ කලාකරුවන් සහ සංස්කෘතික ක්‍රියාධරයින්ගේ සහනය සඳහා අජිත් සන්‍ධ්‍යා භාගය වන තෙක්ම නව නගර ශාලාවේ කොරිඩෝවේ රැඳී සිටියේය. 2005 අප්‍රේල් 28 වෙනිදා පැහැර ගොස් ඝාතනය කළ සිවරාම් සමරා මැයි 04 වෙනිදා පිටකොටුවේ මාවත් අවුරා දැමූ දැවැන්ත උද්ඝෝෂණ පෙළපාලියේ අජිත් ගමන් කළේය. ඉකුත් නොවැම්බර් 08 වෙනිදා කොළඹ නිපොන් හෝටලයේ රැස්වී යාපනයේ හාමත් ජනයාට ආහාර සහ අත්‍යවශ්‍ය ඖෂධ යවන්නැයි විවෘත ඉල්ලීමක් කළ කලා සහ සංස්කෘතික ක්‍රියාධරයින් සහ විද්වතුන් අතරද අජිත් සිටියේය. ඒ අවසන් වරටත් නිවරදි දේ සඳහා සුළුතරයෙන් එකෙක් වීමට ඔහු තුළ වූ එඩිතරභාවය හේතුවෙනි.
රිචඩ් ද සොයිසා මරා දැමුණේය. මර්වින් ද සිල්වා සහ ගාමිනී නවරත්න මිය ගියහ. ධර්මරත්නම් සිවරාම් මරා දැමුණේය. ඒ.ජේ.කණගරත්න සහ අජිත් සමරනායක මිය ගියහ. අවිචාරය සහ අගතිය විසින් වැටලූ සමාජයක අප තවදුරටත් දිළින්දන් වූයේ ඔවුන් නැති නිසාවෙනි.
නොවැම්බර් 08 වෙනිදා නිපොන් හෝටලයේ පුවත්පත් සාකච්ඡාව අවසන් කොට පහත මාලයට බසින්නට මොහොතකට පෙර අජිත් අප සිටි තැන නැවතිණ. ‛මා එක්ක තරහා නැහැ නේදැ’යි ඔහු ඇසීය. මම නැතැයි කීමි. ‛අපි තවමත් යාළුවෝ නේදැයි’ ඔහු විමසීය. මම සෙස්සන් සමඟ එක්ව මිතුරු සිතින් සිනහසුනෙමි. අනතුරුව අජිත්ට සමුදුනිමි. පහත මාලයට බසින තරප්පු පෙළ දිගේ බැස යන අජිත්ගේ සෝබර රුව දැනුදු මතකය. ඉතින් ඔහු යළිත් මුන නොගැසේ.
එක් පසෙකට ඇළව හිස පහත්කොටගත් නිහතමානී මිනිසෙකු කොළඹ වීදි සරන සටන්කාමී පෙළපාලිවල යළිත් හමු නොවනු ඇත. එම සිතිවිල්ලම තනිකමකි. අහිමිවූයේ අපේ එකෙකි. යුක්තිය සඳහා තනිවන්නට බිය නොවන සුළුතරයෙන් එකෙකි.
2006 නොවැම්බර් | කොළඹ
Print this post
Sunday, November 26, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment