Sunday, November 19, 2006

අලුත් මළවුන් සහ පැරණි මළවුන්

Print this post


මව්බිම | 2006 නොවැම්බර් 19
.......................................................................................................................................

සිය ජනයාගේ සාගිනි වේදනාවන් සහ දුක් ගැහැට පිළිබඳ තමන්ට ආවේණික සිංහල බසින් නොවැම්බර් 10 වෙනිදා උදෑසන අන්තිම වරටත් කරුණු කියා පෑ නඩරාජා රවිරාජ් ඉන් පැයක් ඇතුළත කොළඹ ජනාකීර්ණ වීදියකදී වෙඩිතබා ඝාතනය කෙරිණ. 1989 රාජ්‍ය ධවල භීෂණය විසින් බිලිගත් දකුණේ කැරළිකාර පරම්පරාවක් සමරමින් ඇලවුණු පෝස්ටර් ගහණ වීදි ඔස්සේ 13 වෙනිදා මධ්‍යහ්නයේ රවිරාජ්ගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර ගමන් ගත්තේය. අනෙකාගේ බසින් තම දුක් ගැහැට පහදා කියන්නට උත්සාහ කළ ඒ නිරායුධ කුළුපග මිනිසා 14 වෙනිදා උදයෙන්ම හාමතින් සහ යුදබියෙන් පීඩිත තම ජනයා වෙතට පෙරළා නික්ම ගියේය. 

සමානත්වය සහ යුක්තිගරුකභාවය ඉල්ලා සිටි දකුණේ අතීත මළවුන් සහ ඝාතනය වූ රවිරාජ් අතර කෙස්ගසක වෙනසකි. ඒ වෙනස සළකුණුව තිබුණේ රවිරාජ්ගේ දෙමළකමෙනි.
  
රවිරාජ්ගේ මරණය, පසුකොට ආ අතීතය ගැන ස්මරණයන් අවදි කරවයි. මරණය සහ භීෂණය ගැන ඒ ස්මරණයන් දශකයකින් පසුවද අප හඹා එන සෙයකි. රවිරාජ් මුහුණදුන් ආකාරයේ මරණයන් අපගේ දෛනික ජීවන යථාර්ථයක් බවට පත්ව තිබූ කාලයක් තිබිණ. යුක්තිගරුකභාවය ඉල්ලා සම්මුති විරහිතව කතාකළවුන් මං මාවත්වලදී මරා දැමුණි. විකෘතිව පිළිස්සුණු මළ සිරුරු උඩින් පැන දැන් ඉතිහාසය දහහත් වසරක් ඉදිරියට ගමන් කොට තිබේ. කාලය, මතකයන් පිසදා හරින ප්‍රචණ්ඩ කුණාටුවකි. රවිරාජ්ගේ මරණය බොහෝ අය තුළ අතීත මතකයන් අවුළුවාලනු නොලබන්නේ එබැවිනි. 


නොවැම්බර් 12 වෙනිදා ‛ඉරිදා ලංකාදීප’යේ රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ පිටුවක ලිපියක් පළ වී තිබිණ. ජනතා විමුක්ති පෙරමුණේ උතුරු මැද පළාත් සභා මන්ත්‍රී ඉන්ද්‍රානන්ද ද සිල්වා විසින් කරනු ලබන අනාවරණයක් පදනම් කොටගෙන ලිපිය ලියා තිබිණ. ඉන්ද්‍රානන්දගේ අනාවරණයට 17 වසරක් පැරණි ඉතිහාසයක් තිබේ. ඒ ඉතිහාසය ඔහු දිවි පරදුවට තබා ආරක්‍ෂා කළ එකක් බව මම පෞද්ගලිකව දනිමි.
  
1992 වනවිට ඉන්ද්‍රනන්ද රඳවා සිටියේ මැගසින් බන්‍ධානාගාරයේය. රෝහණ විජේවීර ඝාතනය සියැසින් දුටු  සාක්‍ෂි තමන් සතුව ඇතැයි ඔහු ‛ලක්දිව’ පත්‍රයට ලියා එවීය. ඒ තොරතුරු බන්‍ධනාගාරයෙන් පිටතට ගත හැකි මගක් ගැන අපි කතා කළෙමු. මා ඉන්ද්‍රානන්ද පළමුවරට හමු වූයේ ඒ සමයේය. මැගසින් බන්‍ධනාගාරයේ සිරකරුවන් හමුවීමට වෙන් කළ කාලයේදී අප අතර වූ කෙටි හමුවීම්වලදී ඔහු සිය සාක්‍ෂි විධිමත්ව ගොණු කළ හැකි මගක් පිළිබඳව කතා කළේය. නාරාහේන්පිට යුද හමුදා පොලීසියේ ඡායාරූප අංශයේ කැමරා ශිල්පියෙකු වශයෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයින් බොහෝ දෙනෙකුගේ වේදනාකාරී අවසන් මොහොත කැමරාවට නඟන ලද්දේ ඔහු විසිනි. සිය අපිළිවෙල මතකය අවුස්සමින් ඔහු ලියා එවන ලද තොරතුරු එක්කොට ජාත්‍යන්තර තලයේදී නීතිමය ක්‍රියාමාර්ගයක් ගත හැකි වනු ඇතැයි අපි විශ්වාස කළෙමු. ජවිපෙ සංහාරය සඳහා 1989 අගෝස්තු 04 වෙනිදා පිහිටුවන යුද හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ කටයුතු පිළිබඳවත්, රෝහණ විජේවීර, ඩී.එම්.ආනන්ද සහ එච්.බී.හේරත් ආදීන්ගේ මරණ පිළිබඳවත් ප්‍රමාණවත් තරම් සාක්‍ෂි ඔහු සතුව තිබිණ. 1994 නොවැම්බරයේ පළවූ පළමු ‛නියමුවා’ පත්‍රයේ සිරස්තලය බවට පත්වූයේ ඔහු විසින් හෙළිකරන ලද තොරතුරුය. අත්අඩංගුවට පත් වූ පසු තිඹිරිගස්යායේ යටාරෝ කැෆටේරියා හි පවත්වාගෙන ගිය හමුදා වධකාගාරයේ රඳවා සිටියදී ඔහු අත්දුටු භීෂණය වචනයෙන් වචනයට නගා ඔහු ලියා එවූ ලිපි තවමත් මා සතුව සුරැකිව තිබේ. යටාරෝ වධකාගාරයේ දීර්ඝ කාලයක් රඳවා තබාගෙන ලිංගික බලහත්කාරයනට සහ හිංසනයන්ට ලක්කිරීම හේතුවෙන් කතාකරගත නොහැකි ලෙස කම්පනයට පත්ව සිටි තරුණියන් පිළිබඳ ඔහු ලියා එවූ තොරතුරු දැන් ඉතිහාසයයි.
  
යුද්ධාධිකරණයක් විසින් ලබාදුන් දඬුවමට එරෙහිව ඉන්ද්‍රානන්ද ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව 1996 මැයි 14 වෙනිදා ප්‍රකාශයට පත්කෙරුණි. මැයි 04 වෙනිදා ඔහු විසින් මට එවන ලද අවසන් ලිපියේ ඒ බව සඳහන් කොට තිබිණ. ඒ වන විටත් අපි දේශපාලනිකව ජවිපෙන් වෙන්ව සිටියෙමු. ‛හිරු’ පත්‍රය ප්‍රකාශයට පත්කිරීම ඒ හේතුවෙන්ම නැවතී තිබුණි. මේ සියල්ල දැන සිටි ඔහු මෙසේ ලියා තිබිණ: ‛‛මේ මස 14 වන දින මගේ දඬුවමට එරෙහිව මවිසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම තීන්දුව මා හට වාසිදායක එකක් වීමට බොහෝ ඉඩකඩ තිබේ. එදින නිදහස් විය හැකි වුවහොත් මම ඔබව මුණ ගැසීමට බලාපොරොත්තුව සිටිමි.’’ නමුත් ඔහු කලක් යන තුරු හමු නොවිණ. 2001 අවුරුද්දේදී මනම්පිටියේ පැවති ගොවි සංවිධාන රැස්වීමකට යන අතරවාරයේ කෙටි දැනුම්දීමකින් පසු කදුරුවෙල බස් නැවතුමේදී අපි යළිත් හමුවීමු. ඒ වනවිට ඔහු යළිත් ජවිපෙට සම්බන්‍ධව දේශපාලන කටයුතු අරඹා තිබුණි. නමුත් පැරණි සුමිතුරු බව නොවෙනස්ව තිබිණ. එකිනෙකා සමග වාදකොටගත් හෝරාවකින් පසු අපි වෙන්වීමු. උතුරු මැද පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු පත් වූ බව මා දැනගත්තේ පුවත්පත්වලිනි. කර පියවූ මන්ත්‍රී ඇඳුමකින් සැරසුණු ඔහුගේ සේයාරුව ඒ කොහේ හෝ තැනක දුටු බවට මගේ මතකයේ තිබේ. බිහිසුණු සංහාරයන් පිළිබඳ වධහිංසා විඳිමින් ඔහු ආරක්‍ෂා කළ ඉතිහාසය දැන් සති අන්ත පුවත්පතක මාරක කතා අතිරේකයක් සරසන විශේෂාංගයකි. ඒ අතීත භීෂණය දැන් පහව ගොස් ඇතැයි සියල්ලෝ සිතන හෙයිනි.

නමුත් රාජ්‍ය භීෂණය නොනවතින ක්‍රියාදාමයකි. වෙනස්ව ඇත්තේ ඒ කෙරෙහි වන බොහෝවුන්ගේ ආකල්පයයි. නොවැම්බර් 15 වෙනිදායින් අවසන් වූ දෙසතිය තුළ පමණක් යාපනයේ ඝාතනයට ලක්වූවන්ගේ සංඛ්‍යාව 38කි. ඉකුත් දෙමස තුළ 400කට වැඩි පිරිසක් අර්ධ ද්වීපය තුළ ඝාතනය කොට තිබේ. ඔවුන් හෝ නොවැම්බර් 08 වෙනිදා කදිරවේලියේ විග්නේශ්වරා විදුහල් සරණාගත කඳවුර තුළ මල්ටි බැරල් සහ කාලතුවක්කු ප්‍රහාරයන්ට ගොදුරුව මිය ගිය 47 දෙනා සංහාරයන් පිළිබඳ අප අත්දුටු සංහාරයන්ගේ අතීතයට නෑකමක් නොමැති සෙයකි. ඒ වෙනස සළකුණු වන්නේ ඔවුන්ගේ දෙමළකමෙනි. හරියටම රවිරාජ්ගේ මරණය මෙනි.




2006 නොවැම්බර් | කොළඹ

Print this post

0 comments:

Post a Comment