Sunday, November 5, 2006

හාමත් අර්ධද්වීපය

Print this post


මව්බිම | 2006 නොවැම්බර් 05
.......................................................................................................................................

යාපනයේ සාගතයකි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟකමින්ද, මිල අධිකකමින්ද හාමත පැතිර යමින් ඇති බවට දෙමළ පුවත්පත් දෛනික වාර්තා පළකරමින් තිබේ. විදුලි සැපයුම සීමා කිරීම යාපනයේ ශික්‍ෂණ රෝහලට පවා බල පා ඇති අතර ඉන්‍ධන නොමැතිකමින් ගමනා ගමනය සීමා වීම සිසුන්ගේ පාසල් පැමිණීම හීන කොට ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ හා ළදරු කිරිපිටි ඇතුළු ආහාර හිඟය බිහිසුණු ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ඇතැමුන් අනතුරු හඟවා තිබිණ. දැනටමත් වසංගත රෝ බිය පැතිර යන්නට පටන්ගෙන තිබේ.
  
ඒ මිනිස් ඛේදවාචකය දකුණට නොවැදගත් පුවතකි.
  
නොකා නොබී පවා යාපන අර්ධ ද්වීපය තුළ හමුදාවන් තනිකොට අතහැර යාමට මැලිවන දෙමළ ජනයාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා රූපවාහිනී සාකච්ඡාවක දී කීවේය. ඒ බිහිසුණු විහිළුව දෙමළ ජනයාට නොඇසේ. පවුල් 30,000කට වැඩි ප්‍රමාණයක් කලින් සිය දරු මුණුබුරන් සමග නිදහස්ව දිවි ගෙවූ භූමි භාගයක ඒ හමුදාවන් වාඩි ලා සිටියි. ඊට අයත් ග්‍රාමසේවක වසම් සංඛ්‍යාව 67කි. හමුදා අධි ආරක්‍ෂක කලාපයට ඇඳා ගනු ලැබ ඇති කලින් සරුව වගාකොට අස්වැද්දූ වගා බිම් අක්කර 12,259කි. වෙරළ තීරයෙන් ඊට ඈඳාගනු ලැබ ඇති භූමි ප්‍රමාණය කිලෝ මීටර් 81කි. අර්ධ ද්වීපය තුළ ඒ හේතුවෙන් උන්හිටි තැන් අහිමිව දිවිගෙවන පවුල් සංඛ්‍යාව 24,537කි. වාඩි ලා සිටින 40,000කට ආසන්න හමුදාවන්ගේ ආරක්‍ෂාව පතා වසා දමා ඇති පාසල් සංඛ්‍යාව 47කි. දැන් සාගතයෙන් හා රෝ බියෙන් පෙළෙන්නේ ගේ - දොර හා කුඹුරු බිම්ද, ජීවන මාර්ගයන්ද ඉකුත් දශකයක් තිස්සේ පැහැරගනු ලැබ ඇති මේ මිනිස් සමූහයයි. ඒ මිනිස් වේදනාවන් දකුණට නොවැදගත් පුවතකි.


2002 සැප්තැම්බරයේදී යාපනයේ වීරසිංහම් ශාලාවේ මුලුදුන් ‛මනුෂ්‍යත්වයේ තමිල් හමුව’ කලා උළෙලට දකුණින් බොහෝ දෙනා සහභාගී වූහ. දකුණින් ආ සිංහලුන් දකින්නට හා කතා කරන්නටත්, දෑත් අල්ලා උණුසුම පළ කරන්නටත් සිය ගණන් දෙමළ ජනයා වීරසිංහම් ශාලා භූමියේ රොක් වූහ. යාපනය බස් නැවතුමේ සවි කළ ශබ්ද විකාශන යන්ත්‍ර යටට වී දකුණින් ආ සරසවි ඇදුරන්ගේ දේශනවල තමිල් පරිවර්ථනයන්ට යන එන ගමන් නවතා සවන් දුන් බොහෝ මිනිසුන් මට මතකය. දිගු කලකින් පසු දකුණින් පැමිණියවුන්ට සිය අතින් පිළියෙල කළ ආහාර වේලක් පිළිගන්වන්නට ඒ බොහෝ දෙනා ඉදිරිපත් වූහ. දැන් හාමතෙහි හෙළා ඇත්තේ ඒ ජනයායි.
  
මහා ගංවතුරින් දකුණ යටව ගොස් 248 දෙනෙකු මරණයට පත්ව 121,580ක් ජනයා අවතැන් වූයේ 2003 වසරේදීය. වන්නියේ දිළිඳු ජනයා විසින් එකතු කොට දුන් සහල් හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් ලොරි රථ විපතට පත්ව අවතැන් ජනයා සොයා දකුණට පැමිණියහ. ඒ සහල් ලොරිවල නැගී වන්නියේ සිට පැමිණි ‛කොටි’ ආපසු නොගිය බවට ජනතා විමුක්ති පෙරමුණ නිවේදනයක් මගින් අනතුරු හඟවා තිබිණ. නමුත් ගමින් ගම ඇවිද යමින් හැකි පමණින් ඒ ආධාර සිංහල දිළිඳු ජනයා අතර බෙදා දුන් පුවත බොහෝ මාධ්‍ය වාර්තා කරන ලද්දේ අඩු වැදගත්කමකිනි. දෛනික ගුවන් බෝම්බ ප්‍රහාරයන් මැද සාගතයෙහි හෙළා ඇත්තේ ඒ දිළින්දන්ගේ දරුවන්ය.
  
හය ලක්‍ෂයක ජනගහණයකට කිලෝ 25,000ක ආහාර තොග ගුවනින් යවා ඇති බව බලධාරීහු ප්‍රකාශ කරති. යහපත් කාල ගුණ තත්ත්වයක් ආ විට යවනු ලබන ආහාර තොග ප්‍රමාණය වැඩිකළ හැකි බවද ඒ ප්‍රකාශයෙහිම දැක් වේ. ඒ අනුව යාපනයේ හාමත් කරනු ලබන ජනයාට වර්ෂා කාලය ඉක්ම යන තෙක් දරා සිටීමට සිදුවනු ඇත. ‛මුදාගනු ලැබ ඇති ප්‍රදේශවල’ නිරාහාරව කල්ගෙවන්නට බලකෙරී ඇති ජනගහණය ඒකීය රාජ්‍යයක් තුළ වසන්නට පුල පුලා බලා සිටිනු ඇතැයි දකුණේ බොහෝවුන් කල්පනා කරයි. එක්ව වසන්නට නොකැමැති නම් හාමත් කොට තබා හෝ අපි ඔවුන්ගේ කැමැත්ත ගනිමු යැයි පාලක කොටස් කල්පනා කරනු විය හැකිය. උතුරේ සාගතය බොහෝවුන්ට නොවැදගත් මාතෘකාවක්ව ඇත්තේ එහෙයිනි.
  
අර්ධද්වීපයේත්, ඉන් මෙපිට වන්නියේත් ජනයා හාමත් කොට යටත් කිරීමේ උපාය දකුණේ පාලක කොටස් පසුගිය දශකය පුරාත් අනුගමනය කළහ. වන්නියට පැරසිටමෝල් පෙත්තක් පවා නොගිය වකවානුවක් පස් වසරකට පෙර තිබිණ. ලංකාවේ ඉහළම මන්ද පෝෂණ ප්‍රතිශතයක් සහිත දිස්ත්‍රික්ක බවට උතුරු පළාතේ දිස්ත්‍රික් පත්ව ඇත්තේ හුදු දිළිඳුභාවයේ ප්‍රතිඵලයක් වශයෙන් නොවේ. ඒ වනාහී දැනුවත් රාජ්‍ය මර්දනකාරී යුද පිළිවෙතක ප්‍රතිඵලයක් වශයෙනි. යුද්ධය නැවතී තිබූ සිව් වසරකින් පසුව අලුත් වටයකින් අරඹා ඇත්තේ පැරණි රාජ්‍ය පිළිවෙතමය.
  
සිව් වසරක සටන් විරාමයෙන් පසුව යාපන අර්ධද්වීපයේ පැතිර යන සාගතය අප දන්නා මිනිසුන්ට එරෙහි සංහාරක ප්‍රතිපත්තියකි. ඒ ප්‍රතිපත්තිය ඒකීයභාවය සුරක්‍ෂිත කොට දකුණේ ජීවිතාරක්‍ෂාව සළසා දෙනු ඇතැයි කල්පනා කරන්නන් බොහෝ සිටින්නට ඉඩ තිබේ. උතුරේ ගැඹුරුවන මිනිස් ඛේදවාචකයන් පිළිබඳ දකුණේ නිහඬතාව එහි ප්‍රතිඵලයක් විය හැකිය. නමුත් උතුරේ හාමත්ව යුද භීෂණය යටතේ දිවි ගෙවන මව් පියන් සහ ළමා ලපටින් දකුණේ මිනිස් හෘදය සාක්‍ෂියේ නින්දා සහගත කැළැලක් වීමට නියමිතය.



2006 නොවැම්බර් | කොළඹ

Print this post

0 comments:

Post a Comment