Sunday, November 26, 2006
සුළුතරයෙන් එකෙකුගේ නික්ම යාම
මව්බිම | 2006 නොවැම්බර් 26
.......................................................................................................................................
උදය කුමාර රණතුංග සහෝදරයා ගැන මේ සටහනෙහි ලියන ලද්දේ දෙසතියකට කලිනි. මහර බන්‍ධනාගාරයේදී ඝාතනය කළ රණතුංගගේ මළගම දා කඩවත සූරිගමට රැස්වූ රණේ දැන සිටි බොහෝ දෙනා ඔහු ගැන විවෘතව යමක් කියන්නට බිය වූහ. රණේ මුහුණදුන් බිහිසුණු මරණය විසින් ඇති කළ බිය ඊට හේතු වූවා විය හැක. නොඑසේ නම් රණේ සිරගත වන්නට බල පෑ කාරණය ඊට හේතු වූවා විය හැක. කවරක් වුවද අවමංගල සභාව අමතන්නට ඉදිරිපත් වන්නැයි කෙරුණු ඉල්ලීම් බොහෝවුන් මගහැර ගියහ. රණේ දැන සිටි බහුතරයක් දෙනාගේ මගහැර යාම් මැද්දේත් නැගී සිට ‛රණේ අපරාධකරුවෙක් නොවේ, ඔහු අනාගත වීරයෙක්’ බව කියන්නට හයිය තිබුණේ එක මිනිසෙකුටය. නිවැරදි දේ සඳහා සුළුතරයෙන් එකෙක් වීමේ ආඩම්බරය උපට උගන්වා දුන් ඒ මිනිසා මේ මළවුන්ගේ මාසයේදී අප හැර ගියේය.
ඒ අජිත් සමරනායක සහෝදරයාය.
අසූව දශකය ලංකාවේ අවසාන විචාරශීලී දශකයයි. ඒ විචාරශීලීත්වය පණ පෙවූවන් අතර අජිත් ප්‍රමුඛයෙකු විය. දේශපාලනික සහ සමාජ විවරණයන්ද, සාහිත්‍ය කලා සහ සෞන්දර්‍ය විචාරවේදයන්ද ඔස්සේ ඔහු සැපයූ දායකත්වය දීප්තිමත් එකකි. විශේෂයෙන්ම ‛දි අයිලන්ඩ්’ පුවත්පතෙහි ස්වර්ණමය යුගය නිර්මාණය කරන ලද්දේ විජිත යාපා සහ අජිත් සමරනායක වැන්නන් විසිනි. ජාතිකවාදය එවකට සංවාදවල බලවත් සංඝටකයක් වූ බව සැක නැත. නමුත් මිනී මාංශ භක්‍ෂණයෙන් තොර බුද්ධිමය අඩංගුවක් එහි තිබිණ. ජාතික චින්තන විවාදයන්ද, විකල්ප සමාජ මාදිලීන් පිළිබඳ මත ගැටුම්ද, දේශපාලන සහ සංස්කෘතික සැකසුම් පිළිබඳ සංවාදයන්ද ඒවායේ ඵලයන්ය. අජිත් එකී සමාජ සංවාදයන් තුළ ප්‍රබල සළකුණකි.
Posted by
Admin
at
7:26 PM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, November 19, 2006
අලුත් මළවුන් සහ පැරණි මළවුන්
මව්බිම | 2006 නොවැම්බර් 19
.......................................................................................................................................
සිය ජනයාගේ සාගිනි වේදනාවන් සහ දුක් ගැහැට පිළිබඳ තමන්ට ආවේණික සිංහල බසින් නොවැම්බර් 10 වෙනිදා උදෑසන අන්තිම වරටත් කරුණු කියා පෑ නඩරාජා රවිරාජ් ඉන් පැයක් ඇතුළත කොළඹ ජනාකීර්ණ වීදියකදී වෙඩිතබා ඝාතනය කෙරිණ. 1989 රාජ්‍ය ධවල භීෂණය විසින් බිලිගත් දකුණේ කැරළිකාර පරම්පරාවක් සමරමින් ඇලවුණු පෝස්ටර් ගහණ වීදි ඔස්සේ 13 වෙනිදා මධ්‍යහ්නයේ රවිරාජ්ගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර ගමන් ගත්තේය. අනෙකාගේ බසින් තම දුක් ගැහැට පහදා කියන්නට උත්සාහ කළ ඒ නිරායුධ කුළුපග මිනිසා 14 වෙනිදා උදයෙන්ම හාමතින් සහ යුදබියෙන් පීඩිත තම ජනයා වෙතට පෙරළා නික්ම ගියේය.
සමානත්වය සහ යුක්තිගරුකභාවය ඉල්ලා සිටි දකුණේ අතීත මළවුන් සහ ඝාතනය වූ රවිරාජ් අතර කෙස්ගසක වෙනසකි. ඒ වෙනස සළකුණුව තිබුණේ රවිරාජ්ගේ දෙමළකමෙනි.
රවිරාජ්ගේ මරණය, පසුකොට ආ අතීතය ගැන ස්මරණයන් අවදි කරවයි. මරණය සහ භීෂණය ගැන ඒ ස්මරණයන් දශකයකින් පසුවද අප හඹා එන සෙයකි. රවිරාජ් මුහුණදුන් ආකාරයේ මරණයන් අපගේ දෛනික ජීවන යථාර්ථයක් බවට පත්ව තිබූ කාලයක් තිබිණ. යුක්තිගරුකභාවය ඉල්ලා සම්මුති විරහිතව කතාකළවුන් මං මාවත්වලදී මරා දැමුණි. විකෘතිව පිළිස්සුණු මළ සිරුරු උඩින් පැන දැන් ඉතිහාසය දහහත් වසරක් ඉදිරියට ගමන් කොට තිබේ. කාලය, මතකයන් පිසදා හරින ප්‍රචණ්ඩ කුණාටුවකි. රවිරාජ්ගේ මරණය බොහෝ අය තුළ අතීත මතකයන් අවුළුවාලනු නොලබන්නේ එබැවිනි.
Posted by
Admin
at
6:27 PM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, November 12, 2006
නොවැම්බර් මතකයන්
මව්බිම | 2006 නොවැම්බර් 12
.......................................................................................................................................
උදය කුමාර රණතුංග මගේ මිතුරෙකි. බොරලැස්ගමුවේ වැව පාරේ පැරණි පැඟිරි මෝලක පවත්වාගෙන ගිය ‛ලක්මිණ’ පත්තර කන්තෝරුවේදී රණේ මට හඳුන්වා දුන්නේ චන්‍ද්‍රකුමාර වික්‍රමරත්න විසිනි. ඒ 1990 මැද භාගයේදීය. එතැන් සිට නව මාසයක් ගෙවී ගිය 1991 මැයි 31 වෙනිදායින් පසු චන්‍ද්‍රකුමාර අතුරුදහන් විය. නමුත් ඒ අවුරුද්දේ අග භාගයේදී රණේ මට නැවත හමුවිය.
ඒ මේ වැනි නොවැම්බරයකදීය.
බොරැල්ලේ සුපර් මාර්කට් ගොඩනැගිල්ල පාමුල පත්තර තට්ටුව ඉදිරිපිට ඒ නොවැම්බරයේ උදයක රණේ මට නැවත හමුවිය. එදා සිට අපි එක්ව ‛ලක්දිව’ පත්තරයේ වැඩ කළෙමු. 1992 ජනවාරියේ 26 වැනිදා පළමු ‛ලක්දිව’ කලාපය ප්‍රකාශයට පත්වන විට රණේ එහි ප්‍රධාන පිටු සැළසුම් ශිල්පියා වශයෙන් වැඩ ආරම්භ කළේය. කොයි මොහොතක හෝ තමන් සොයා එතැයි සිතූ මරණය අපේක්‍ෂා කළ රණේ සෝදිසි නෙතින් ඔබ මොබ ගියේය. තැන තැන රැය ගත කළේය. ජනතා විමුක්ති පෙරමුණේ පරාජය වූ දෙවෙනි නැගිටීමේ පරාජය නොවූ සිහින සහ අපේක්‍ෂා රණේ තුළ නිධන් වී තිබුණි. ඝාතනය වූ සගයෙකුගේ නිවසක මව් පියන් හෝ අඹු දරුවන් හමු වී ගතකළ ඇතැම් රැයකින් පසු රණේ ගැඹුරු ශෝකාකූල හදින් කතා කළේය. ඒ සෑම අයෙකුගේම ජීවන වේදනාවන්ගේ කුරුසිය රණේ කර තබාගෙන ඇවිද්දේය. ඔවුන් වෙනුවෙන් කළ හැකි යමක් නැතිදැයි වේදනාවෙන් විමසීය. වැඩ අතර විරාමයක් ලද ඇසිල්ලේ ‛ලක්දිව’ ඇතුළත කාමරයේ යකඩ කොටු දැලින් පිටත අහස දෙස බලා සිටින රණේගේ සංවේගජනක රුව දැන් අතීත මතකයකි.
Posted by
Admin
at
6:05 PM
1 comments
Labels: මව්බිම - සමකය 2006
Sunday, November 5, 2006
හාමත් අර්ධද්වීපය
මව්බිම | 2006 නොවැම්බර් 05
.......................................................................................................................................
යාපනයේ සාගතයකි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟකමින්ද, මිල අධිකකමින්ද හාමත පැතිර යමින් ඇති බවට දෙමළ පුවත්පත් දෛනික වාර්තා පළකරමින් තිබේ. විදුලි සැපයුම සීමා කිරීම යාපනයේ ශික්‍ෂණ රෝහලට පවා බල පා ඇති අතර ඉන්‍ධන නොමැතිකමින් ගමනා ගමනය සීමා වීම සිසුන්ගේ පාසල් පැමිණීම හීන කොට ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ හා ළදරු කිරිපිටි ඇතුළු ආහාර හිඟය බිහිසුණු ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ඇතැමුන් අනතුරු හඟවා තිබිණ. දැනටමත් වසංගත රෝ බිය පැතිර යන්නට පටන්ගෙන තිබේ.
ඒ මිනිස් ඛේදවාචකය දකුණට නොවැදගත් පුවතකි.
නොකා නොබී පවා යාපන අර්ධ ද්වීපය තුළ හමුදාවන් තනිකොට අතහැර යාමට මැලිවන දෙමළ ජනයාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා රූපවාහිනී සාකච්ඡාවක දී කීවේය. ඒ බිහිසුණු විහිළුව දෙමළ ජනයාට නොඇසේ. පවුල් 30,000කට වැඩි ප්‍රමාණයක් කලින් සිය දරු මුණුබුරන් සමග නිදහස්ව දිවි ගෙවූ භූමි භාගයක ඒ හමුදාවන් වාඩි ලා සිටියි. ඊට අයත් ග්‍රාමසේවක වසම් සංඛ්‍යාව 67කි. හමුදා අධි ආරක්‍ෂක කලාපයට ඇඳා ගනු ලැබ ඇති කලින් සරුව වගාකොට අස්වැද්දූ වගා බිම් අක්කර 12,259කි. වෙරළ තීරයෙන් ඊට ඈඳාගනු ලැබ ඇති භූමි ප්‍රමාණය කිලෝ මීටර් 81කි. අර්ධ ද්වීපය තුළ ඒ හේතුවෙන් උන්හිටි තැන් අහිමිව දිවිගෙවන පවුල් සංඛ්‍යාව 24,537කි. වාඩි ලා සිටින 40,000කට ආසන්න හමුදාවන්ගේ ආරක්‍ෂාව පතා වසා දමා ඇති පාසල් සංඛ්‍යාව 47කි. දැන් සාගතයෙන් හා රෝ බියෙන් පෙළෙන්නේ ගේ - දොර හා කුඹුරු බිම්ද, ජීවන මාර්ගයන්ද ඉකුත් දශකයක් තිස්සේ පැහැරගනු ලැබ ඇති මේ මිනිස් සමූහයයි. ඒ මිනිස් වේදනාවන් දකුණට නොවැදගත් පුවතකි.
Posted by
Admin
at
5:18 PM
0
comments
Labels: මව්බිම - සමකය 2006
Subscribe to:
Posts (Atom)
© Samakaya 2011