Print this post
මව්බිම | 2006 ඔක්තෝබර් 01
.......................................................................................................................................
ත්‍රස්ත විරෝධය සහ අධිරාජ්‍ය විරෝධය පිළිබඳ සිත්ගන්නා සුළු කතාවක් බීබීසීයේ චන්දන කීර්ති සහෝදරයා පසුගිය දාක කතාබහක යෙදී සිටියදී කීය. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ වෙනිසියුලානු ජනාධිපතිවරයා කළ කතා සංසන්දනය කරමින් ඔහු කී අදහස මෙබඳුය: ‛‛මහින්ද රාජපක්‍ෂ ත්‍රස්ත විරෝධී වෙන්න තීරණය කළාම හිටගන්නේ අධිරාජ්‍යවාදී ඇමරිකාව එක්ක. නැතිනම් ඊශ්‍රායෙලයත් එක්ක. හියුගෝ චාවේස් අධිරාජ්‍ය විරෝධී වෙන්න තීරණය කළාම හිටගන්නේ ‛ත්‍රස්තවාදී’ ඉරානයත් එක්ක. නැතිනම් හිස්බුල්ලා හෝ හමාස් එක්ක.’’ එහි ඇත්තේ සරළ තර්කයකි. එනම් අපේ යුගයේ අධිරාජ්‍ය විරෝධය සහ ත්‍රස්ත විරෝධය එකට නොපෑහීමේ යථාර්ථයයි. නමුත් විග්‍රහ කරගත යුතු තරමේ ගැඹුරක් එහි තිබේ.
ත්‍රස්තය සහ ප්‍රචණ්ඩත්වය අතර වෙනස සළකුණු කළ හැකි මූලධර්මයක් තිබේ දැයි ඇසීම මේ කාලයේදී ත්‍රස්තවාදයකි. මේ වනවිට පිළිගැනීමට බල කෙරෙන ප්‍රමිතීන් අනුව සියළු ප්‍රචණ්ඩත්වයන් ත්‍රස්තයකි. එසේ නොවන්නේ ‛නීත්‍යානුකූල ප්‍රචණ්ඩත්වයන්’ පමණි. නීත්‍යානුකූල ප්‍රචණ්ඩත්වය යනු රජයන්ගේ පරමාධිකාරයයි. එනම් තමන්ගේ යටත් වැසියන් ප්‍රචණ්ඩ බලය මගින් අවනත කොට තබාගැනීමේ අයිතියයි. ඒ අනුව සිය පාලිතයින් ප්‍රචණ්ඩත්වය මගින් පාලනය කිරීමේ අනුල්ලංඝනීය අයිතිය නීත්‍යානුකූල රාජ්‍යයන්ගේ පිළිගත් බලාධිකාරයේ කොටසකි. පාලකයින් සහ පාලිතයින් අතර බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනෙන පාලනය කිරීමේ සහ පාලනය වීමේ සම්මුතිය සැළකිය යුතු දුරකට පදනම් වන්නේ මේ පිළිගැනීම මතය. ඒ අනුව නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ප්‍රචණ්ඩත්වය පිළිබඳ පිළිගත් අර්ථකථනය ඉහළ සිට පහළට ගලන්නකි. මීට ඉතිහාස රටාවක් තිබේ.
1492දී නව ලෝකය සොයා යාත්‍රා කළ කොලොම්බස් ඒ නව ලෝකය සොයාගන්නා ලද්දේ ලක්‍ෂ සංඛ්‍යාත ස්වදේශික ඇමරිකානුවන් සමූල ඝාතනයෙනි. නමුත් ඒ ප්‍රචණ්ඩත්වය ත්‍රස්තයක් සේ නිර්වචනය නොවන්නේ ඉතිහාසය කොලොම්බස්ගේ දෘෂ්ටිකෝණයෙන් ලියැවී ඇති හෙයිනි. 1803 දී තස්මේනියාවට ගොඩබට යුරෝපා ජානපදිකයෝ 1804 සිට ස්වදේශික සංහාරය ආරම්භ කළහ. 1869 වන විට සියළු ස්වදේශිකයින් වඳව ගොස් අවසන්ව තිබිණ. නවසීලන්තයේ ස්වදේශික මයෝරි ජනයාගේද, නිරිත දිග අප්‍රිකාවේ ස්වදේශික හෙරේරෝ ජනයාගේද ඉරණම ලියැවුණේ එපරිද්දෙනි. නමුත් ඒ ප්‍රචණ්ඩත්වයන් ත්‍රස්තයක් වශයෙන් වාර්තාගත නොවන්නේ හැමවිටම ඉතිහාසඥයා සමූල ඝාතකයින්ගෙන් අයෙකු වූ හෙයිනි. ‛විසිවන සියවසේ නාසිවාදය විසින් කරන ලද්දේ යුරෝපය කොලණියක් බවට පත්කිරීම යැයි’ ලියන විට ඇල්ජීරියානු විමුක්තිකාමී ෆ්‍රාන්ස් ෆැනොන් සරළව අදහස් කරන්නේ මෙයයි. එනම් නාසිවාදය හමුවේ යුරෝපය ප්‍රමුඛ බටහිර වාසීන් අත්විඳි භීම සමය ඊට සියවස් කිහිපයකට පෙර යුරෝපයට යටත්ව සිටි විජිතවාසීන් විසින් අත් විඳින ලද බවයි.
ත්‍රස්තවාදය පිළිබඳ පිළිගැනීම්ද එවැනිය. ඒ අනුව ප්‍රචණ්ඩත්වය ඉහළ සිට පහළට ගලන විට එය ‛නීතියේ ආඥාව’ බවට පත්වේ. ප්‍රචණ්ඩත්වය පහල සිට ඉහළට ගලන විට එය හුදු ‛ත්‍රස්තවාදයක්’ බවට පත්වේ. ඒ අනුව විජිතවාදී සන්දර්භයක් තුළ සරදියෙල් ත්‍රස්තයෙකි. ඊට හේතුව සරදියෙල් ජීවත් වූ සන්දර්භය තුළ අර්ථකථනයන් කෙරෙන්නේ පීඩකයා වන විජිතවාදියාගේ ප්‍රමිතීන් හා දෘෂ්ටි කෝණයෙන් වන බැවිනි. විජිතවාදියා ඉහළින් සිටින අතර සරදියෙල් පහළින් සිටියි. නීත්‍යානුකූල හා නීත්‍යානුකූල නොවන ප්‍රචණ්ඩත්වය පිළිබඳ අර්ථකථනය ඉහළ සිට පහළට ගලයි. නමුත් ඉන් සියවසක් ඇවෑමෙන් සරදියෙල් අපේ සාමූහික ජාතික ප්‍රමෝදයේ සංකේතයක් බවට පෙරළෙයි. ඔහුගේ පුරාවෘතය දැන් මාලා නාටකයන්ට නිමිත්තකි. හේතුව, ඉතිහාසය අර්ථකථනය කරනුයේ සරදියෙල්ට පක්‍ෂපාතී අපගේ ප්‍රමිතීන් සහ දෘෂ්ටිකෝණයෙන් වන බැවිනි. ත්‍රස්තවාදය පිළිබඳ නූතන අර්ථකථනයන්ද එබඳුය. එය අර්ථකථනය කරන්නාට සාපේක්‍ෂ වේ. මහාචාර්ය ඉක්බාල් අහමඩ්ගේ රමණීය වැකි කිහිපයකින් කියන්නේ නම් මෙසේය: ‛‛ත්‍රස්තවාදයට එරෙහිව අපට දැනිය යුතු පිලිකුළ වරණීය එකකි. අපට දැනිය යුත්තේ නිල වශයෙන් අනුමත නොකරන ලද කණ්ඩායම්වල ත්‍රස්තවාදය පමණි. බලධාරීන් විසින් අනුමත කරනු ලබන කණ්ඩායම්වල ත්‍රස්තය අප අගය කළ යුතුය....අවාසනාවට මෙන් ඉතිහාසය සන්‍ධානගත වන්නේ බලය සමග මිස බෙලහීනතාව සමඟ නොවේ.’’
දැන් සිදුවන්නේ කුමක්ද?
බුෂ් ජනාධිපතිවරයාගේ ‛ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සංග්‍රාමය’ හරහා අපිටත් ගැළවුම් මාර්ගයක් ඇති දැයි සියල්ලෝ විමසති. ඉරාකයේ කෝපාන්විත නුපුහුණු සටන්කරුවන්ගේ ප්‍රචණ්ඩ පහරදීම් පිටුපස හේතුවක් නොපවතින බව බුෂ් කියයි. ඉරාක ත්‍රස්තය මුලිනුපුටා දැමීම සිය අභිලාෂය බවද ඔහු කියයි. ඒ වැකියේ මුවාවෙන් යටත් නොවන දෙමළ සටන්කාමියා යටත් කරගත හැකි මගක් තිබේදැයි සිංහල බහුතරයක් දෙනා කල්පනා කරයි. ‛ත්‍රස්තවාදය පිළිබඳ ඔබේ සංග්‍රාමය තුළ අපේ ත්‍රස්තවාදියාද අතුගා දමා දෙන්නැයි’ ඉල්ලා සිටින ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරිකයින්ගේ පෝස්ටර් කොළඹ ඇළ වේ. ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සංග්‍රාමය යටතේ ඇෆ්ගන් සහ ඉරාකයට ඇතුළුව සිටින ඇමරිකානුවන්ට එරෙහිව එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට ගාලු පාරේ ජනතා විමුක්ති පෙරමුණ පෙළපාලි යයි. අනතුරුව ඒ තානාපති කාර්යාලය තුළදීම එක්සත් ජනපද රාජ්‍ය බලධාරීන් හමුවී ‛ත්‍රස්තවාදයට එරෙහි ඔබේ සැලැස්ම යටතේ ලංකාවේ ත්‍රස්තවාදය මඩින්නට සහාය දෙන්නැයි’ අයදියි.
ජනාධිපති රාජපක්‍ෂ පරාවර්ථනය කරන්නේද මේ දෙබිඩි යථාර්ථයයි. වත්මන් ලෝකය දෙපළු කොට ඇත්තේ කුමන බෙදුම් රේඛාවකින්ද? පසෙකින් අධිරාජ්‍යාවදියාය. පසෙකින් ත්‍රස්තවාදියාය. අධිරාජ්‍ය විරෝධී වන්නේ නම් අධිරාජ්‍යයේ සතුරන් වන ත්‍රස්තවාදීන් සමග සිටගත යුතුය. අනෙක් අතින් ත්‍රස්ත විරෝධී වන්නේ නම් අධිරාජ්‍ය සමඟ සිටගත යුතුය. එක්කෝ හාවුන් සමග දිවිය යුතුය. නැතිනම් බල්ලන් සමග දඩයමේ යා යුතුය. ජනාධිපති චාවේස් නිව්යෝක් නුවරදී දේශපාලනය තෝරන්නේ ලෝක සන්දර්භයක් තුළය. ජනාධිපති රාජපක්‍ෂ නිව්යෝක් නුවරදී දේශපාලනය තෝරන්නේ ලාංකීය සන්දර්භයක් තුළය. අධිරාජ්‍ය විරෝධියා හා ත්‍රස්ත විරෝධියා එකට නොපෑහීමේ රහස එයයි.
2006 ඔක්තෝබර් | කොළඹ
Print this post
Sunday, October 1, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment