Sunday, October 29, 2006

පූරාණ රෝමය සහ නූතන ලංකාව


මව්බිම | 2006 ඔක්තෝබර් 29
.......................................................................................................................................

1840න් ඇරඹි දශකයේ අවසන් භාගය වන විටත් මාක්ස් කල්පනා කරන ලද්දේ ඉංග්‍රීසි කම්කරු පන්තිය විසින් අයර්ලන්ත ජනයාගේ නිදහස සාක්‍ෂ්‍යාත් කර දෙනු ඇති බවය. විශේෂයෙන්ම ඉංග්‍රීසි කම්කරු පන්තිය මත පදනම්ව ගොඩනැගුණු චාටිස්ට් ව්‍යාපාරයේ විප්ලවීය විභවය පිළිබඳ සුබවාදීව බලාපොරොත්තු තැබූ ඔහු එංගලන්තයේ සමාජ විප්ලවය අයර්ලන්ත ජාතික නිදහසේ යතුර වනු ඇතැයි විශ්වාස කළේය. නමුත් එතැන් සිට විසි අවුරුද්දක් ඇතුළත මාක්ස් සිය ස්ථාවරය අංශක 180කින් කරකවනු ලැබුවේය. යුරෝපය පුරා නැග ආ විප්ලවීය වඩදිය 1840 දශකයේ අවසානයත් සමඟ බැස යාමත්, එංගලන්තය තුළම පවා චාටිස්ට් ව්‍යාපාරයේ පරාජයත් සිය ස්ථාවරයන් පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්නට ඔහුට බලකළ විෂයමූල වර්ධනයන් විය. 1869 දෙසැම්බරයේදී පළමු ජාත්‍යන්තරයේ මහා සභා වාරයට තමන් අයර්ලන්තය පිළිබඳ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන නව යෝජනාව පිළිබඳ එංගල්ස්ට හෙළිදරව් කරමින් මාක්ස් මෙසේ ලියා යැවීය:

‛‛ලබන අඟහරුවාදා මා ප්‍රශ්නය ඉදිරිපත් කරන ආකාරය මෙයයි: අයර්ලන්තයට ‛ජාත්‍යන්තරවාදය’ සහ ‛මානුෂික’ වූ සාධාරණත්වය සම්බන්‍ධයෙන් වූ වගන්ති වෙනුවට අයර්ලන්තය සමග තමන්ගේ වර්තමාන සම්බන්‍ධයෙන් ගැළවී යාම ඉංග්‍රීසි කම්කරු පන්තියේ සෘජු සහ පැහැදිලි යහපත සඳහාම වන්නේය. ඉංග්‍රීසි කම්කරු පන්තියේ බලපෑම් මගින් අයර්ලන්තයේ පාලන තන්ත්‍රය පෙරළා දැමීම කළ හැක්කක් වශයෙන් මම බොහෝ කාලයක් තිස්සේ විශ්වාස කළෙමි. නිව්යෝක් ඩේලි ට්‍රිබියුන් පත්‍රයෙහි මෙම අදහස මම නිරන්තරයෙන් ඉදිරිපත් කළෙමි. ගැඹුරු හැදෑරීම විසින් මට ප්‍රත්‍යක්‍ෂ කර ඇත්තේ එහිම ප්‍රතිලෝමයයි. අයර්ලන්තයෙන් ගැළවෙන තුරු ඉංග්‍රී සි කම්කරු පන්තිය කිසිවක්ම අත් කරගනු නැත. ලීවරය අයර්ලන්තයට ආදේශ විය යුතුය.’’


Sunday, October 8, 2006

අතුරුදහන් වීමේ නිදහස


මව්බිම | 2006 ඔක්තෝබර් 08
.......................................................................................................................................

සැප්තැම්බර් 21 වෙනිදා ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ලිප්ටන් වටරවුමට රැස්ව සිටි ජනයා අතර දහසය වසරකට පෙර අතුරුදහන් වූ සිය දරුවන්ගේ සේයා රූ රැගත් මව්වරු විඩාපත් මුහුණින් කැකෑරෙන අව් රැස් යට සිටගෙන සිටියහ. ඔවුන් අත වූ කළු සුදු සේයාරූවල සිටි තරුණ රූ දැන් කිසිවෙකු තුළ සාමූහික කම්පනයන් අවදි නොකරයි. ඔවුන්ගේ තරුණ දෑස් යුක්තිය හෝ නිදහස පිළිබඳ දකුණේ මිනිස් ආවේගයන් තවදුරටත් අවුළුවනු නොලබයි. ඔවුන් කාගේ කවුදැයි කිසිවෙක් නොදනී. දහසය වසක් ඇවෑමෙන් මිනිසුන් දෙතුන් දෙනෙකුගේ පෞද්ගලික ජීවන වේදනාවන් බවට දැන් ඔවුන් පෙරළී තිබේ.

1992 පෙබරවාරියේදී නව නගර ශාලාවට මව්වරුන්ගේ පෙරමුණ රැස්වීමක් කැඳවා තිබිණ. හැඬුම් - වැළපුම් පිරුණු සිය ගණන් මව්පියන් අතර සිටි මහනුවර හතරළියැද්දේ සිට ආ පියෙක් දරු සොවින් විසඥව ඇද වැටී මිය ගියේය. ඒ මහා සෙනඟ මැදට ආ නන්දා මාලනි ‛ලේ කිරි කර දුන් - අපගේ දරුවන් - බිලිගත් මරුවන්  - කවුරුද විමසන්’ යැයි ගී ගැයුවාය. වේදනාවෙන් පීඩිත ගම්බදින් ආ මව්වරුන් අතර ඇවිද ගිය රිචඩ් ද සොයිසාගේ මව - වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු - ඔවුන් තුරුළු කොටගෙන සැනසුවාය. එයින් දශකයක් ඇවෑමෙන් සිහිමද ගතියකින් මැකාති රෝහලේ ඔත්පලව අසරණව හිඳ මියගිය ඇගේ සිරුර කිසිවෙකුගේ විශේෂ බුහුමනට පාත්‍ර නොවී බොරැල්ලේ බානි රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කොට තිබිණ. රිචඩ් ඝාතනයේ විත්තිකරුවන් සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන ලද්දේ එයින් පසුවය.


Sunday, October 1, 2006

අධිරාජ්‍යවාදීන්ගේ 'ත්‍රස්ත විරෝධය' හා අධිරාජ්‍ය විරෝධීන්ගේ 'ත්‍රස්තවාදය'


මව්බිම | 2006 ඔක්තෝබර් 01
.......................................................................................................................................

ත්‍රස්ත විරෝධය සහ අධිරාජ්‍ය විරෝධය පිළිබඳ සිත්ගන්නා සුළු කතාවක් බීබීසීයේ චන්දන කීර්ති සහෝදරයා පසුගිය දාක කතාබහක යෙදී සිටියදී කීය. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ වෙනිසියුලානු ජනාධිපතිවරයා කළ කතා සංසන්දනය කරමින් ඔහු කී අදහස මෙබඳුය: ‛‛මහින්ද රාජපක්‍ෂ ත්‍රස්ත විරෝධී වෙන්න තීරණය කළාම හිටගන්නේ අධිරාජ්‍යවාදී ඇමරිකාව එක්ක. නැතිනම් ඊශ්‍රායෙලයත් එක්ක. හියුගෝ චාවේස් අධිරාජ්‍ය විරෝධී වෙන්න තීරණය කළාම හිටගන්නේ ‛ත්‍රස්තවාදී’ ඉරානයත් එක්ක. නැතිනම් හිස්බුල්ලා හෝ හමාස් එක්ක.’’ එහි ඇත්තේ සරළ තර්කයකි. එනම් අපේ යුගයේ අධිරාජ්‍ය විරෝධය සහ ත්‍රස්ත විරෝධය එකට නොපෑහීමේ යථාර්ථයයි. නමුත් විග්‍රහ කරගත යුතු තරමේ ගැඹුරක් එහි තිබේ.

ත්‍රස්තය සහ ප්‍රචණ්ඩත්වය අතර වෙනස සළකුණු කළ හැකි මූලධර්මයක් තිබේ දැයි ඇසීම මේ කාලයේදී ත්‍රස්තවාදයකි. මේ වනවිට පිළිගැනීමට බල කෙරෙන ප්‍රමිතීන් අනුව සියළු ප්‍රචණ්ඩත්වයන් ත්‍රස්තයකි. එසේ නොවන්නේ ‛නීත්‍යානුකූල ප්‍රචණ්ඩත්වයන්’ පමණි. නීත්‍යානුකූල ප්‍රචණ්ඩත්වය යනු රජයන්ගේ පරමාධිකාරයයි. එනම් තමන්ගේ යටත් වැසියන් ප්‍රචණ්ඩ බලය මගින් අවනත කොට තබාගැනීමේ අයිතියයි. ඒ අනුව සිය පාලිතයින් ප්‍රචණ්ඩත්වය මගින් පාලනය කිරීමේ අනුල්ලංඝනීය අයිතිය නීත්‍යානුකූල රාජ්‍යයන්ගේ පිළිගත් බලාධිකාරයේ කොටසකි. පාලකයින් සහ පාලිතයින් අතර බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනෙන පාලනය කිරීමේ සහ පාලනය වීමේ සම්මුතිය සැළකිය යුතු දුරකට පදනම් වන්නේ මේ පිළිගැනීම මතය. ඒ අනුව නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ප්‍රචණ්ඩත්වය පිළිබඳ පිළිගත් අර්ථකථනය ඉහළ සිට පහළට ගලන්නකි. මීට ඉතිහාස රටාවක් තිබේ.