Sunday, September 3, 2006

පොළොවේ ප්‍රශ්න ගුවනේදී විසඳීම

Print this post


මව්බිම | 2006 සැප්තැම්බර් 03
.......................................................................................................................................

රොබට් තොම්ප්සන් ‛ත්‍රස්ත විරෝධී යුද ක්‍රියා’ පිළිබඳ යුද න්‍යායේ බ්‍රිතාන්‍ය විශේෂඥයෙකි. ජෙනරාල් ජෙරල්ඩ් ටෙම්ප්ලර්ගේ නායකත්වයෙන් ‛50 දශකයේ මලයානු කොමියුනිස්ට් ගරිල්ලන් සහමුලින් පරාජය කිරීමේ මෙහෙයුම්වලට තොම්ප්සන් ක්‍රියාකාරීව දායක විය. 1961දී වියට්නාම් යුද්ධය පැතිර යාමේ ලකුණු පළවන්නට පටන් ගත් විට බ්‍රිතාන්‍ය අගමැති මැක්මිලන් විසින් යුද උපදේශනය සඳහා පත්කළ බ්‍රිතාන්‍ය උපදේශන දූත කණ්ඩායමේ (BRIAM) ප්‍රධානියා වශයෙන් තොම්ප්සන් පත්කරන ලදී. ඒ වියට් කොං වරුන්ට එරෙහි එක්සත් ජනපද හමුදාවන්ට ඔහු වැන්නෙකුගේ විශේෂඥ ඥාණය අත්‍යාවශ්‍ය වනු ඇතැයි ගණන් බැලීමෙනි. වියට්නාමයේදී අත්විඳීමට නියමිත එක්සත් ජනපද පරාජය ඔහු පෙර දැක්කේය. දැවැන්ත ගුවන් ප්‍රහාර මගින් වියට්නාම් ගම් බිම් අතු ගා දැමීමේ ගුවන් මෙහෙයුම් ගැන ඔහු විරෝධය පෑවේය. ‛‛යුද්ධය දිනිය  යුත්තේ මොළයේ සහ පාබල ශක්තියෙනි’යි ඔහු ජනාධිපති කෙනඩිට අනතුරු හැඟවීය. නමුත් ඇමරිකාව විශ්වාසය තැබුවේ තමන් සතු සුපිරි ගුවන් හැකියාව කෙරෙහි මිස තොම්ප්සන්ගේ යුද ඥාණය කෙරෙහි නොවේ. 'Better  dead than red'  යැයි කල්පනා කළ ඇමරිකානු යුද ප්‍රතිපත්ති සැළසුම්කරුවන් වියට්නාමය ගුවන් ප්‍රහාර මගින් වනසා දැමුවේය.

තොම්ප්සන් 1965දී බ්‍රිතාන්‍ය උපදේශන දූත කණ්ඩායමෙන් ඉවත් විය. 1969 වන විට එක්සත් ජනපද ආක්‍රමණික සේනාංකවල අපකීර්තිමත් පරාජයේ ඉතිහාසය වියට්නාමයේ සටන්කාමී ගම්බද ගරිල්ලන් විසින් ලිවීම ආරම්භ කර තිබිණ. වසර කිහිපයක් ඇතුළත දකුණු වියට්නාමය කාමියුනිස්ට් ගරිල්ලන් අතට පත්කරමින් සයිගොන් ඇද වැටිණ.


එයින් දශක තුනකට පසු දැවැන්ත ගුවන් ප්‍රහාර මගින් පැරණි මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය විසුණු කොට දැමූ එක්සත් ජනපද හමුදා 2003 මාර්තුවේදී බැග්ඩෑඩයට ඇතුල් වූහ. සදාම් හුසේන් ඇද වැටිණ. නමුත් සුන්බුන්ව ගිය නගරයෙන් නගරය ආක්‍රමණික ඇමරිකානු හමුදාවන්ට එරෙහි නව විමුක්ති සටන් බිම් බවට පෙරළිණ. වසර එක හමාරකින් පසු 2004 නොවැම්බර් 17 වෙනිදා වොෂින්ටන් පෝස්ට් පත්‍රය ඉරාකයේ දිග්ගැසුණු ගරිල්ලා යුද්ධයකට කොටුවූ ඇමරිකානු විශේෂ බලකායේ අණ දෙන්නෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වා තිබිණ. ඔහු මෙසේ කියයි :‛‛අපි ඉරාක ජනගහණය අතරමැද මිතුරන් රහිතව තනිව සිටිමු...ඇමරිකානුවන් විකුණන දෙය මිලට ගන්නට ඉරාක ජනයා හරවා ගැනීමට අප අසමත්ය. කොතරම් යුද ක්‍රියා මගින් හෝ මේ කරුණ වෙනස් කළ නොහැකිව තිබේ.’’ එයිනුත් වසර දෙකක් ඇවෑමෙන් එක් දිනක් ඇතුළත බැග්ඩෑඩයේ වීදිවලදී පමණක් තමන්ට එල්ල වන ඉරාක ගරිල්ලන්ගේ ප්‍රහාර සංඛ්‍යාව 34 දක්වා වැඩිව ඇතැයි ඉරාකයේ ඇමරිකානු යුද ප්‍රකාශකයා හෙළි කරන ලද්දේ මේ අගෝස්තුවේදීය. එක්සත් ජනපදයේ අධි තාක්‍ෂණික හා අති නවීන ගුවන් ප්‍රහාරක බලයෙන් ඉරාකය දණ ගැස්සවීමේ සිහිනය ඉරාකයේ නගරයෙන් නගරයට පැතිරෙමින් සටන් වදින නුපුහුණු ගරිල්ලා බ්‍රිගේඩයන් විසින් සුනු විසුණු කර දමමින් තිබේ.

ඉකුත් ජූලි 12 වෙනිදා ලෙබනනයට එරෙහි ගුවන් ප්‍රහාරයන් ආරම්භ කළ ඊශ්‍රායෙලය සති තුනක් ඇතුළතදී යළිත් ජෙනරාල් රොබට් තොම්ප්සන්ගේ යුද ඥාණයේ නිවැරදිභාවය තහවුරු කළේය. ‛අපි ලෙබනනය විසි අවුරුද්දකින් අතීතයට යවන්නෙමු’ රූපවාහිනියේ පෙනී සිටි ඊශ්‍රායෙල් ජෙනරාල්වරයෙකු කියා සිටියේය. ජූලි මාසය කෙළවර වන විට 800කට අධික ලෙබනන් සිවිල් වැසියන් ඊශ්‍රායෙල් ගුවන් ප්‍රහාර මගින් මරා දැමිණ. පළමු සතිය තුළ පමණක් මිලියන භාගයක් ජනයා අවතැන් වූහ. දෙවැනි සතියේදී එය අට ලක්‍ෂයක් දක්වා ඉහළ ගියේය. ජූලි මස අවසාන වන විට සෑම ලෙබනන් වැසියන් පස් දෙනෙකුටම එක් අයෙක් අනාථභාවයට ඇද දැමුණි. නමුත් හිස්බුල්ලා ගරිල්ලන් අඛණ්ඩව එල්ල කළ කට්යූෂා රොකට් ප්‍රහාරයන් උතුරු ඊශ්‍රායෙලයේ ප්‍රධානතම කර්මාන්ත පුරය වූ හයිෆා නගරය ජනශූන්‍ය බිමක් බවට පෙරළීය. ඊශ්‍රායෙල පාබල සේනාංක පියවරකින් හෝ සෙළවිය නොහැකි තරමටට හිස්බුල්ලා ප්‍රහාර දැඩි කෙරුණු අතර අගෝස්තු දෙවන සතිය වන විට ඊශ්‍රායෙලය සිය ආක්‍රමණික ප්‍රහාරයන්ගේ පරාජය නොනිල වශයෙන් පිළිගනු ලැබිණ. කලක් ඊශ්‍රායෙලයේ කුප්‍රකට මොසාඩ් සංවිධානයේ නිළධාරියෙකුව සිටි උපායික විශේෂඥයෙකුගේ ප්‍රකාශයක් අගෝස්තු 11 වෙනිදා ෆ්‍රන්ට්ලයින් සඟරාව විසින් උපුටා දක්වා තිබිණ: ‛‛මේ දක්වා අපි දුටු දේ අනුව නම් මේ වනාහී අප මුහුණ දුන් විශිෂ්ඨතම අරාබි සේනාංක බව කියන්නට මම බිය නොවෙමි.’’

මුළුමහත් බේරූට් නගරය සමතලා කොට දමන ලද මෑත ඉතිහාසයේ දැවැන්තම ගුවන් ප්‍රහාරයන්ගෙන් පවා හිස්බුල්ලා ගරිල්ලන්ගේ දේශපාලන අදිටන බිඳ නොවැටිණ. ඒ වෙනුවට ජූලි මාසය අවසන් වන විට පවත්වන ලද ජන මත විමසුම් අනුව ෂියා හා සුන්නි මුස්ලිම්වරුන් මෙන්ම ක්‍රිස්තියානින්ද ඇතුළු සමස්ත ලෙබනන් ජනගහණයෙන් 87%කගේ පූර්ණ සහාය හිස්බුල්ලා ගරිල්ලන් වෙත හිමිව තිබිණ.

අසමමිතික යුද්ධයකදී (assymetrical war) සාම්ප්‍රදායික හමුදාවන් හැමවිටම මුහුණදෙන යථාර්ථය මෙයයි. නිශ්චිත හා යුක්ති සහගත දේශපාලන අභිලාෂයක් මත පදනම්ව සටන් කරන පීඩිත ජන කොටසකගේ ගරිල්ලා ව්‍යාපාරයක පැවැත්මේ රහස පොලොවේ සිට අඩි දසදහසකට ඉහළ සිට ඉලක්ක කළ නොහැකිය. එක්සත් ජනපදයේ ඇලබාමා ගුවන් යුද පාසලේ උපායික කටයුතු පිළිබඳ මහාචාර්ය ජෙෆ්රි රෙකෝඩ්‛ශක්තිවන්තයින් පරාජය වන්නේ ඇයි?’ (Why the Strong Loose?) ලිපියේ ලියන ආකාරයට ‛‛හුදෙක් පරාජය නොවී සිටීමම ගරිල්ලෙකුගේ ජයග්‍රහණයකි. නමුත් ජයග්‍රහණයක් නොලැබීම සාම්ප්‍රදායික හමුදාවක පරාජයකි.’’

ලංකාවේ යථාර්ථයන් එයින් වෙනස් නොවේ. කෆීර් යානා මගින් දෙමළ ගම් බිම් විසුණු කොට දැමීම පහසුය. නමුත් දේශපාලන ජය ඉන් නොලැබේ. මුලතිවු ප්‍රහාරයෙන් මියගියවුන් ළමා සෙබළුන් බව කීම ප්‍රොපගැන්ඩා තලයේදී ගැළවුම් මාර්ගයක් විය හැක. නමුත් එය දේශපාලන හා යුදමය තලයේදී විජයග්‍රහණයේ පණවුඩය කැටුව නොඑයි. අවිගත් දෙමළ පීඩිත තරුණයින් හැදී වැඩුණේ දෙමළ ජනයා පෙළන ලද ඓතිහාසික අයුක්තීන්ගේ ගර්භාෂයේය. ඒ අයුක්තීන්ට විසඳුම් සෙවීමේ අභියෝගයට පොළොවේදී මිස ගුවනේදී මුහුණ දිය නොහැක.



2006 සැප්තැම්බර් | කොළඹ

Print this post

0 comments:

Post a Comment