Print this post
මව්බිම | 2006 අගෝස්තු 20
.......................................................................................................................................
‛ගෞරවනීය සාමය’ බොහෝවුන්ගේ සිත්ගත් වදනකි. එය කාගේත් ආදරය දිනූ උද්‍යෝග පාඨයක් බවට පත් වී තිබේ. දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක්දැයි අසන්නෝද, ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණක් යැයි කියන්නෝද, යුද්ධයෙන් තොර විසඳුම් මාර්ගයක් නැතැයි අදහන්නෝද ‛ගෞරවනීය සාමය’ අදහති. දිවි හිමියෙන් ඒකීය රාජ්‍ය රකින්නෝද එයම වහරති. මෙය සිංහල බෞද්ධයින්ගේ රට යැයි සිතන්නෝද එයම පසසති. එය කොයි දක්‍ෂිණාංශිකයාටත් රිංගා ගත හැකි හොඳ ප්‍රොපගැන්ඩා බංකරයකි. එහි හරය කුමක්දැයි කිසිවෙක් නොඅසයි. ඇත්තෙන්ම නම් එවැනි හරයක් තිබීම කිසිවෙකුට අත්‍යාවශ්‍යද නොවේ. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අංක එකේ විවේචකයා වන චොම්ස්කිට අනුව මේ වනාහී ‛හොඳ ප්‍රොපගැන්ඩාවල’ ලක්‍ෂණයයි. ඔහු තැනක මෙසේ ලියයි: ‛‛ඔබට අවශ්‍ය වන්නේ කිසිවෙකු විරුද්ධ නොවන සටන් පාඨයක් නිර්මාණය කිරීමයි. එයින් අදහස් වන්නේ කුමක්දැයි කිසිවෙක් නොදනී. ඊට හේතුව ඇත්ත වශයෙන්ම එය කිසිත් අදහස් නොකරන නිසායි. එහි ඇති තීරණාත්මක වටිනාකම වන්නේ වැදගත් ප්‍රශ්න කෙරෙන් ඔබේ අවධානය වෙනතකට යොමු කිරීමට එම පාඨය සතු සමත්කමයි.’’ (Media Control: The Spectacular Achievements of Propagnda)
‛ගෞරවනීය සාමය’ එවැනි වර්ගයේ යෙදුමකි. එය මහින්ද චින්තනයේ ලියැවිලිවල සාඩම්බර ලෙස වැජඹේ. නමුත් එම යෙදුමේ දේශපාලන උපත මහින්ද චින්තනයට සම්බන්‍ධයක් නැත. ඇත්ත වශයෙන්ම නම් එය මෑතකාලීනව උපන්නේ 1992න් පසු කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ලේඛණ හා නිවේදන තුළිනි. ජාතික ප්‍රශ්නයට ඇති විසඳුම පිළිබඳ ජවිපෙ සිතන්නේ කුමක්දැයි ඇසූ විට ‛අප පෙනී සිටින්නේ ගෞරවනීය සාමයක් සඳහා’යැයි එවක සිට ජවිපෙ කියයි. 1992 රහසිගත පක්‍ෂ සාමාජිකයින්ට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින් එවන ලද මැයි දින යෝජනාවන්ගේ සිට 1994 මැද භාගයේදී ෆැක්ස් මගින් ඔහු හා කළ පළමු පුවත්පත් සාකච්ඡාව දක්වාත්, 1994 ජාතිය ගළවාගැනීමේ පෙරමුණේ මැතිවරණ වේදිකාවල සිට මහින්ද චින්තනය දිනවීමේ රූපවාහිනී සාකච්ඡා දක්වාත් මේ යෙදුම ජවිපෙ හොඳ හැටි තොරොම්බල් කොට තිබේ. නමුත් එය කිසිදු සංයුක්ත අදහසක් පළ නොකරයි.
පීඩක සහ පීඩිත සමාජ බලවේගයන් අතර යුද්ධයකදී ආචාර ධර්ම සහ සදාචාර නිර්ණායක තීරණය කරන්නේ පීඩකයින් විසිනි. ඒ අනුව පීඩකයින් විසින් ගෙනයන යුද ක්‍රියා හඳුන්වන්නේ ‛යුද්ධය’ නමිනි. පීඩිතයින්ගේ යුද ක්‍රියා හඳුන්වන්නේ ‛ත්‍රස්තය’ නමිනි. ‛ධනවතුන් දිළින්දන්ට එරෙහිව ගෙනයන ත්‍රස්තය යුද්ධය නම් වේ. දිළින්දන් ධනවතුන්ට එරෙහිව ගෙනයන යුද්ධය ත්‍රස්තය නම් වේ’යැයි පීටර් උස්තිනොෆ් කියන්නේ එබැවිනි. ඒ අනුව අයර්ලන්ත ජාතික විමුක්තිය සඳහා වූ අයිරිෂ් රිපබ්ලිකන් හමුදාවේ යුද්ධය ත්‍රස්තයකි. අයර්ලන්තය යටත් කොට තබාගැනීම සඳහා වූ බ්‍රිතාන්‍ය හමුදාවේ ත්‍රස්තය යුද්ධයකි. සිය ජනයාගේ නිදහස ඉලක්ක කොටගත් පලස්තීන විමුක්තිකාමීන්ගේ යුද්ධය ත්‍රස්තයක් වන අතර ඊශ්‍රායෙල සියොන්වාදීන්ගේ ආක්‍රමණික ත්‍රස්තය යුද්ධයකි. එපරිද්දෙන්ම 1971දී සහ 1989දී ජවිපෙ වටා ගොනු වූ දුගී සිංහල තරුණයින් විසින් ගෙනගිය යුද්ධය ත්‍රස්තයකි. එම අවිගත් පීඩිතයින් මර්දනයට පීඩක බලයන් විසින් ගෙනගිය ත්‍රස්තය යුද්ධයකි.
නමුත් ඉහත ආකාරයේ නැගිටීම්වලදී අවිගත් පීඩිතයින්ට සාමය ගෞරවනීය එකක් වන්නේ එය ඔවුන්ගේ අභිලාෂයන් දිනා දෙන තරමටය. ඔවුන්ගේ අතීත වහල් දිවියෙන් ගැළවෙන්නට ලැබෙන අවකාශයෙහි තරමටය. එමෙන්ම පීඩකයින්ට සාමය ගෞරවනීය එකක් වන්නේ එය පීඩිතයින් මත තමන් එතෙක් පවත්වාගෙන ගිය ආධිපත්‍යය ආරක්‍ෂා කර දෙන තරමටය. 1987-89 ජවිපෙ දෙවෙනි නැගිටීම ඇසුරෙන් මෙය පැහැදිලි කිරීම පහසුය. 1988 දෙසැම්බරයේ ජනාධිපතිවරණයෙන් ලද ‛ප්‍රජාතාන්ත්‍රික ජය’ 1989 පාර්ලිමේන්තු මැතිවරණයෙන් තහවුරු කොටගත් රණසිංහ ප්‍රේමදාස සාමය සඳහා ජවිපෙට අත වැනීමට පටන් ගත්තේය. අත්අඩංගුවේ සිටි දේශපාලන සිරකරුවන්ගෙන් තෝරාගත් පිරිසක් නිදහස් කොට යවා ඔහු පාර්ලිමේන්තුව විවෘත කිරීමේ රාජාසන කතාවේදීත්, ගිරාඳුරුකෝට්ටේ පැවැති යොවුන්පුර රැළියේදීත් ‛සාමය’ට දොර හැර තිබේ යැයි කීවේය. ඒ වනවිට අවි ‛බිම තබා නොතිබූ’ ජවිපෙට සිය ගෞරවය රැකෙන සාමය පිළිබඳ අර්ථකථනයක් තිබුණි. එය කෙබඳු එකක්ද?
ජනාධිපති ප්‍රේමදාසගේ ‛සාම ඇරයුමට’ පිළිතුරු වශයෙන් 1989 අප්‍රේල් 16 වෙනිදා ජවිපෙ නිවේදනයක් නිකුත් කළේය. ඒ එවකදී ජවිපෙ ප්‍රධාන ලේකම් උපතිස්ස ගමනායක සහෝදරයාගේ අත්සනෙනි. එහි මෙසේ සඳහන් විය: ‛‛සාකච්ඡා සඳහා ඉදිරිපත් වන්නැයි කොතරම් සුමිහිරි වදන්වලින් ඇරයුම් කළත්, ඒ සඳහා ජනාධිපතිවරයා හෝ අන් අයෙකු ඉදිරිපත් වන්නේ යැයි ප්‍රකාශ කළත් එය ඵලදායක වන්නේ ඇරයුම් කරන පුද්ගලයා වෙනස් වූ පමණින්වත්, ඇරයුම් කිරීමට පාවිච්චි කරන වාග් මාලාවේ පැහැදිලි බව නැත්නම් ගැඹුරු බව මතවත් නොවේ. වචනවලට විශ්වාසය ඇති කළ හැකි බලයක්ද නැත. එක් අතකින් තුවක්කුව ගෙන අනෙක් අත සාමයට දිගු කිරීමෙන් හෝ එක් අතකින් දේශප්‍රේමීන්, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහ තරුණ ජනයා සංහාරය කරන ගමන් අනෙක් අත සාකච්ඡා සඳහා එන්නැයි දිගු කිරීමෙන් හෝ එක් අතකින් මර්දන නීති සම්පාදනය කරමින්, දේශප්‍රේමීන් සංහාරයට ඉඩකඩ ලැබෙන පරිදි අළුගෝසුවන් ආරක්‍ෂා කරන නීති පොතට ඇතුල් කරමින් ජන සංහාරයක යෙදෙන ගමන් අනෙක් අතින් ‛‛මාව විශ්වාස කරන්නැයි’’ රසවත් ලෙස කියූ පමණින් හෝ සාමය ළඟා කරගත හැකියැයි සිතන්නේ නම් එය මුලාවකි. වංචාවකි. හුදෙක්ම ප්‍රෝඩාවක් පමණකි. අපි මීට ඉහත දී යළි යළිත් අවධාරණය කර ඇති පරිදි අද අවශ්‍ය වන්නේ සාමය සඳහා යථාර්ථවාදී පසුබිමක් සකස් කිරීම පමණකි. ප්‍රායෝගික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පමණකි.’’
සාමය සඳහා ජවිපෙ මෙහිදී එදා යෝජනා කළ ප්‍රායෝගික වැඩ පිළිවෙල කුමක්ද? එම පත්‍රිකාවෙහිම ඔවුන් එම ප්‍රායෝගික වැඩ පිළිවෙල මෙසේ පහදයි: ‛‛...ඒ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් ක්‍රියාමාර්ග එකක් අඩු නැතිව ගත යුතු බව අපි අවධාරණය කරමු.’’ - සාමය ගෞරවනීය සහ යථාර්ථවාදී එකක් වන්නට නම් එකක් අඩු නැතිව ගත යුතු බවට ජවිපෙ එදා කී කරුණු 06කට ගොනු කළ ක්‍රියාමාර්ග මොනවාද? ඒ මේවාය: ඉන්දීය හමුදාව යැවිය යුතු බවය. 1988 ජනපතිවරණය සහ 1989 මහ මැතිවරණය අවලංගු කළ යුතු බවය. පළාත් සභා සහ පළාත් පාලන ආයතන විසුරුවා හැරිය යුතු බවය. ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවය. ස්වාධීන භාරකාර මණ්ඩලයක් යටතේ නිදහස් මැතිවරණ පැවැත්විය යුතු බවය. සියළු හමුදා මෙහෙයුම් නවතා අතුරු හමුදා විසුරුවාලිය යුතු බවය. ජන ඝාතනය හේතුවෙන් ආරක්‍ෂක හමුදාවල නිළධාරීන් ලද උසස්වීම් අවලංගු කොට සියළු මර්දන නීති සහ අණ පනත් අහෝසි කළ යුතු බවය. දකුණේ අවිගත් පීඩිත තරුණයින්ගේ ව්‍යාපාරයට ‛ගෞරවනීය සාමය’ ගැන එදා තිබූ අර්ථකථනය මෙයයි.
අද උතුරේ අවිගත් පීඩිත තරුණයින්ගේ ව්‍යාපාරයට අනුව ගෞරවනීය එකක් වනු ඇත්තේ කෙබඳු සාමයක්ද? අතීත ජවිපෙ ස්ථාවරය සමඟ මේ උධෘතය සසඳා බලන්න: ‛‛....රාජපක්‍ෂ ජනාධිපතිවරයා තමිල් පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවක මෙසේ පවසයි: ‛‛‛මෙතෙක් සිදුවුණ සාමය අත්හරිමු. මෙය අලුත් රජයක්. සියල්ල අලුතෙන් ආරම්භ කරමු’’.....ඇත්ත කාරණාව නම් ‛මෙය අලුත් රජයකි. සියල්ල අලුතෙන් ආරම්භ කරමු’යි යන්න තමිල් ජනයාට කිසිදු අලුත් බවක් නොහඟවන බවයි. ඒ පසුපසින් පැමිණෙන්නේ පැරණි රජයන් විසින් ගෙනගිය පැරණි සමූල ඝාතක යුද්ධයම අලුත් වටයකින් ආරම්භ වීම පමණි. එළඹ ඇති සාකච්ඡාමය ප්‍රවේශයන් කෙබඳු අන්තයක් කරා ගමන් කරනු ඇතිද යන්න පිළිබඳව තමිල් ජනයා පසුවන්නේ විමසිල්ලෙනි. යුද්ධය තමිල් ජනයාගේ ප්‍රාර්ථනාව නොවන තරමටම අතීත වහල්භාවයද ඔවුන්ගේ ප්‍රාර්ථනාව නොවේ. පූර්ණ නිදහසත්, යුක්තිගරුකභාවයත් සහතික කරන සාමයක් හැර ඔවුන් අපේක්‍ෂා කරන කිසිවක් නොමැත.’’ (‛දේදුන්න’ - විමුක්ති කොටි සංවිධානයේ සිංහල ප්‍රකාශනය 2006 ජන-පෙබ)
ඇත්ත මෙයයි. ජවිපෙ ප්‍රමුඛ කොළඹ රජයේ සිත්ගත් ‛ගෞරවනීය සාමය’ දෙමළ ජනයාට අර්ථවත් වන්නේ එය ඔවුන්ගේ නිදහස සාක්‍ෂ්‍යාත් කරන ප්‍රමාණයටය. නමුත් මේ මොහොතේ එසේ ලිවීම ‛ත්‍රස්තයකි.’ එසේ ලියන්නන් අතුගා දැමීම ‛යුද්ධයකි.’
2006 අගෝස්තු | කොළඹ
Print this post
Sunday, August 20, 2006
Subscribe to:
Post Comments (Atom)
© Samakaya 2011
0 comments:
Post a Comment