මව්බිම | 2007 පෙබරවාරි 21
.......................................................................................................................................
සිව් අවුරුද්දකට පෙර ගාසා තීරයේ පලස්තීන ගේ දොර සමතලා කරන්නට මෙහෙයවුණු දැවැන්ත ඊශ්‍රායෙල ඩෝසරයක් ඉදිරිපිට විසි තුන් හැවිරිදි ඇමරිකානු ගැහැණියක් සිටගෙන සිටියාය. ඒ 2003 වසරේ මාර්තුවේ සෞම්‍ය කාන්තියෙන් නිවී යන සන්ධ්‍යාවකි. ඒ සන්ධ්‍යාව එළඹෙන විට ඇය ගැන දැන සිටි කිසිවෙකු ලොව නොවූ තරම්ය. නොදන්නා බිමක, නොදන්නා මිනිසෙකුගේ දුක්ඛිත ඉරණමට එරෙහිව එසවුණු මිනිස් හෘදය සාක්‍ෂියේ සදාතන ධජයක් ඒ මොහොතේ වී නම්, ඒ ඇය බව ඇයම නොදැන සිටියා වන්නට ඇත. ඊශ්‍රායෙල ඩෝසරයක් සහ නිරායුධ පලස්තීන පවුලක් අතර ඉතිරිව තිබුණු කෙටි දුර අතරමැද සිටගත් නන්නාඳුනන තුරුණු කෙසඟ ගැහැණියක් ඒ ඉඩෙහි මිනිස් ඉතිහාසය නැවත ලියුවාය. එය ගොල්ගොතාවේදී කුරුසගත වනතෙක්ම මිනිස් ප්‍රේමය දේශනා කළ නිහඬ මිනිසෙකු විසින් ලියන ලද පරිච්ඡේදයේම කොටසකි. එය බොලීවියාවේදී වෙඩි තබා බිම හෙළන තෙක් නිදහස පිළිබඳ සිහින අත් නොහළ සරළ මිනිසෙකු විසින් ලියන ලද පරිච්ඡේදයේම කොටසකි.
ඇය රේචල් කොරී ය.
ඊශ්‍රායෙල ඩෝසරයකින් යටකොට ඇට මිදුළු බිඳ දමන තෙක්ම නොදන්නා පලස්තීනුවෙකුගේ ජීවත්වීමේ අයිතිය පැත්තෙහි නොසෙල්වී සිටගෙන සිටි නිරායුධ ඇමරිකානු සරසවි සිසුවියකගේ අවසාන මොහොත සටහන් වූ සේයා රූ පෙළ ගින්දරක් මෙන් ලොව පුරා පැතිර ඇවිළිණ. අපි එය ‛හිරු’ පත්තරයෙහිද පළ කළෙමු. මිනිස් නිදහස කෙරෙහි වන අචල පක්‍ෂපාතීත්වය මරණීය කුරුසයක් විය හැකි බව කලකට පසු මා යළිත් උගත්තේ ඒ සේයා රූ පෙළෙනි. එයින් සිව් වසරකට පසු මේ ලියන සෑම අකුරකම ඇගේ සුන්දර ආත්මයෙහි ගැබ් වූ ගිනිදැල් සැඟව තිබෙන බව මම දනිමි.
රේචල් කොරී පිළිබඳ සිතිවිලි හදිසි මතකයක් වූයේ ඇයි? බූස්ස කඳවුර යළිත් දේශපාලන රැඳවියන්ගෙන් පිරී යමින් ඇති බව මා හා කීවේ ‛සංදේශයේ’හි චන්දන කීර්ති සහෝදරයාය. මෙවර යළිත් ‛දෙමළ ත්‍රස්තවාදීන්ගෙනි.’ දැනටමත් වතුකරයේ අත් අඩංගුවට ගැණුනු දෙමළ තරුණ - තරුණියන් සිය ගණනක් එහි රැඳවා ඇති බව බීබීසී ගුවන් විදුලිය හා කියා තිබුණේ රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයාය. වාකරෛ සිට අවතැන්ව මඩකළපුවට ආ ජනයා යළිත් සිය ගම්බිම් බලා යන්නේ දැයි ඇසූ විට ‛ගමට ගියොත් අල්ලා බූස්සට යවනු ඇතැ’යි ඇතැමුන් බියෙන් කී බව ජනමාධ්‍ය වාර්තා කරන ලද්දේ පසු ගිය සතියේය.
දැන් ‛බූස්ස’ කිසිවෙකු තුළ තිගැස්මක් ජනිත නොකරයි. පහළොස් අවුරුද්දකට පෙර මාතලේ කූඹියන්ගොඩ පියදාස වැලිකන්නගේගේ නිවසෙහි ගතකළ එක්තරා රැයකදී බූස්සේ භීෂණය ගැන කතාවක් ඇදී ආවේය. එහි රඳවා සිටියදී කළ හමුදා පහරදීමකින් හිස් කබල ඇතුළට එබුණු වැලිකන්නගේ පවුලෙහි වැඩිමලා -‛ලොකු වැල්ලේ’- ගේ තුවාල කැලැල් මට පෙන්වූයේ කමල් පී. අලහකෝන් සහෝදරයා විසිනි. එවකදී බූස්ස මරණීය ලැගුම්පොළක් විය. ඒ කඳවුර තුළ පහර දී පාදයක් කඩා දැමූ නිහාල් ගලප්පත්ති සහෝදරයාගේ ජීවිතය ආරක්ෂා කරවීම සඳහා ‛ලක්දිව’ පත්තරයෙහි වැඩකළ සමයෙහි ජාත්‍යන්තර ක්‍ෂමා සංවිධානයට ලියූ ලියුම් කෙතරම්ද? නමුත් යළි ක්‍රියාත්මක වන බූස්ස ගැන ඔහු කිසිත් කියා තිබෙනු මම නොදිටිමි. එහි රැඳවුම් ජීවිතයේ පීඩනය අත්විඳි පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන චන්ද්‍රසේන විජේසිංහ හෝ කේ.ඩී.ලාල්කාන්ත හෝ දිමුතු බණ්ඩාර අබේකෝන් හෝ ඒ ගැන කිසිදු වචනයක් දැන් නොකියති. බූස්ස වැළලී ගිය මතකයන්ගෙන් එකකි. කඳවුර ඉදිරිපස එළිමහනෙහි දැන් සති අන්තවල දුර ඈත සිට දරුවන් සොයා එන කෘෂව ගිය දිළිඳු දෙමළ මව්පියවරුන්ගේ විඩාබර ආත්ම ගැවසෙති. ඔවුන්ගේ දුක් දොම්නස් දැන් කඳවුරු බිමෙහි පැතිරෙයි.
සිව් අවුරුද්දකට පසු රේචල් කොරී මතක් වූයේ පහළොස් අවුරුද්දකට පසු බූස්ස මතක් වූ හෙයිනි. මිනිස් නිදහස කෙරෙහි අචල පක්‍ෂපාතීත්වය ලේ වැකි කුරුසයකි. බූස්ස දැන් නිහඬ රහසක්ව ඇත්තේ එහෙයිනි. පසු කර ආ මිනිස් දඩ බිම් දෙස කිසිවෙක් ආපසු හැරී නොබලති. දැන් බටලන්ද හමුදා කඳවුරු ගොඩනැගිලි බිහිසුණු දැක්මක් නොවේ. කොළඹ සරසවි නීති පීඨ ගොඩනැගිලි මිනිස් වධ වේදනාවන් පිළිබඳ මතකයන් විලංගු ලෑ ‛අමු සොහොනක්’ නොවේ. බූස්ස කඳවුර නිදහස ගාල් කළ ලේ වැකි බන්‍ධනාගාරයක් නොවේ.
මෙසේ ලිවීම මව්බිමට ද්‍රෝහී වීමකැයි බොහෝ දෙනා සිතන්නේ එබැවිනි. නමුත් මා උපන් මව්බිමෙහි බූස්ස යනු ලේ වැකි දඩබිමකි. මා උපන් මව්බිමෙහි කොළඹ සරසවී නීති පීඨ ගොඩනැගිලි මිනිස් වේදනාවන් බුරා බුරා ඇවිළුණු වධක බිමකි. මා උපන් මව්බිමෙහි බටලන්ද කඳවුර මිනිසුන් කුහුඹුවන් මෙන් වධ වේදනා මැද හුදකලා වී පැගී මැරුණු බිමකි. වසර දෙදහසක් පැරණි ගල් කණු, සඳකඩ පහන්, සමාධි පිළිම හරහා පහළොස් වසක් පැරණි ලේ ගංගාවන් ගලා බැස මිදී ගල් වී ගොසිනි. ඒ ගල්කණු අතර සැරිසරන වීර සිංහල රජදරුවන්ගේ ආත්ම කිසිදිනක මගේ සජීවි මතකයක් නොවේ. නමුත් 18 වසරකට පෙරාතුව භීම සමයක වෙසක් දා පොළොන්නරුවේ ගල් විහාර බිමේ සැතපෙන පිළිම රුව පාමුළ ගොඩ ගැසූ බැඳිවැව විදුහලේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ කඳින් වෙන් කළ හිස් තවමත් සජීවී මතකයකි.
රේචල් කොරී මතක් වන්නේ එබැවිනි. මිනිස් නිදහස පිළිබඳ අචල පක්‍ෂපාතීත්වය වේදනා ගහණ කුරුසියකි. මිනිස්භාවයට පිටුපානු හැර ඉන් බැස යන මගක් නැත. බූස්සේ අලුතින් ගාල්වන මිනිස් වේදනාවන් " රත්ගම් වැල්ලේත්, දඩල්ලේත්, අහංගම්කන්දේත්" දහ අට වසරකට පෙර අමු අමුවේ පිළිස්සුණු මිනිසුන් පිළිබඳ මතකයන් අවුලුවන්නකි. ඒ වේදනාබර මතකය මා දන්නා මව්බිමෙහි අතීත උරුමයකි. ඒ උරුමය පාවාදීම පිළිබඳ වැරැද්දෙහි මා කොටස්කරුවෙක් නොවේ.
2007 පෙබරවාරි Print this post
0 comments:
Post a Comment