Sunday, December 31, 2006

කියවීම, ලිවීම සහ සිතීම


මව්බිම | 2006 දෙසැම්බර් 31
.......................................................................................................................................

සුනාමියට දෙවසරකි. ඒ නිමිති කොටගෙන ලක්‍ෂ පන්සියයක වියදමින් කළ බාමියන් බුද්ධ ප්‍රතිමා අනුරුවක් දෙසැම්බර් 26 වෙනිදා පැරෑළියේදී විවෘත කළ පාලකයෝ එදිනම උදෑසන 9.30ට හාමත සහ යුද ප්‍රහාර මැද සුනාමිය සැමරූ වාකරෛ කදිරවේලියේ සහ පාල්චෙනෛ ජනාවාස අවටට ගුවනින් බෝම්බ හෙලූහ.

කාළකණ්ණිභාවයේ සහ විනාශයේ පතුලට ලංකාව ගිලී යමින් තිබේ. බඩගිනි සිංහයින් විසින් වටලනු ලැබ මුග්ධභාවයේ කරවටක් ගිල්වා දැමූ සමාජයක් තුළ තර්ක බුද්ධිය සහ හෘදය සාක්‍ෂිය යනු මරණීය පාපයන් ය. අමතකව ගිය සාමූහික විනාශයන් අතර තවත් එක් පාඩමක් බවට සුනාමිය පත්ව ඇත්තේ එහෙයිනි.


Sunday, December 24, 2006

හමුදා ප්‍රකාශකයාගෙන් උගෙනීම


මව්බිම | 2006 දෙසැම්බර් 24
.......................................................................................................................................

ජෝශ් රුෂින් පදක්කම් ලාභී එක්සත් ජනපද මෙරීන් සෙබළෙකි. 1990 මෙරීන් භටයෙකු වශයෙන් ඇමරිකානු හමුදාවන්ට එක් වූ ඔහු 2000 සිට 2002 දක්වා කාලය තුළ කැලිෆෝනියාවේ සැන් දියේගෝහි මෙරීන් සේනා මධ්‍යස්ථානයේ පොදු කටයුතු සම්බන්‍ධතා පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ධූරය දැරීය. අනතුරුව 2002දී ලොස් ඇන්ජලීස්හි මෙරීන් සේනාංකයන්ට අනුබද්ධ සිනමා සහ රූපවාහිනී කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ධූරයට පත්කරනු ලැබිණ. බටහිර අප්‍රිකාවේ සිට කැස්පියානු කලාපයේ තජිකිස්ථානය දක්වා ඇමරිකානු මධ්‍යම ආඥාවේ අණසක පැතිරුණු භූ දේශපාලන කලාපයක් ආවරණය කිරීමට අදාළව ක්‍රියාකාරී වැඩ කොටසක් ඔහු විසින් ඉටුකරන ලදී. 2003 අවුරුද්දේ ඊනියා ‛ඉරාක නිදහස් මෙහෙයුම’ ආරම්භවනවාත් සමගම දෝහා කටාර්හි එක්සත් ජනපද මධ්‍යම ආඥා මූලයේ උපායික සන්නිවේදන උපදේශක සහ මාධ්‍ය ප්‍රකාශකයා වශයෙන් කපිතාන් රුෂින් පත්කොට යැවිණ. ‛ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සංග්‍රාමයක’ බැනරය පෙරටු කොටගත් අධිරාජ්‍යවාදී ඇමරිකානු ආක්‍රමණික ප්‍රතිපත්තිය වසන් කිරීමේ ජනමාධ්‍ය අර්ථකථන සපයන ලද්දේ ඔහු විසිනි.

ආක්‍රමණය ඇරඹීමත් සමගම ජාත්‍යන්තර සැටලයිට් රූපවාහිනී නාලිකා ඇන්ග්ලෝ - ඇමරිකානු සන්‍ධාන හමුදාවන්ගේ දෘෂ්ටි කෝණයට අනුව ලෝක ජනමතය නිෂ්පාදනය කිරීමේ වැඩ ආරම්භ කළේය. නමුත් ඇමරිකානු මධ්‍යම ආඥාව විසින් සපයනු ලබන අර්ථකථනයට අභියෝග කළ නව ප්‍රවෘත්ති නාලිකාවක් අරාබිකරයෙන්ම නැගී ආවේය. ඒ 1996 සිට දෝහා කටාර් මූලස්ථානය කරගනිමින් අරාබි බසින් විකාශන කටයුතු කළ අල් ජසීරා රූපවාහිනී නාලිකාවයි. ‛වික්‍රමාන්විත ඇමරිකානු හමුදා සේනාංකයන්ගේ’ අතවැසි බටහිර මාධ්‍ය සේනාංකයන්ට එරෙහිව ආක්‍රමණයට ගොදුරුවූ ජනයා පෙළන වේදනාවන්ගේ දෘෂ්ටිකෝණය අල් ජසීරා නාලිකාව ඔස්සේ අරාබි ලෝකය වෙත විසුරුවා හැරිණ. නමුත් ඒ සඳහා බරපතල මිලක් නියමව තිබිණ. 2001 නොවැම්බරය වනවිටත් අල් ජසීරා කාබූල් ප්‍රධාන කාර්යාලය ඇමරිකානු මිසයිල් ප්‍රහාර විසින් විසුණු කොට තිබිණ. ‛අල් ජසීරා යනු අල් කයිඩා සංවිධානයේ නොනිල හොරණෑව’ බවට ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ප්‍රසිද්ධියේ චෝදනා කළේය. 2003 අප්‍රේල් 08 වෙනිදා බැග්ඩෑඩ් අල් ජසීරා මූලස්ථානයට ඇමරිකානු යානා විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් කැමරා ශිල්පී තරීක් අයුබ් ඝාතනය කෙරිණ.

Sunday, December 17, 2006

පසුව ඝාතනය වීමේ වරප්‍රසාදය


මව්බිම | 2006 දෙසැම්බර් 17
.......................................................................................................................................

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී තිබුණේ දෙසැම්බර් 10 වෙනිදාටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි බල ගන්වනු ලැබුණේ දෙසැම්බර් 06 වෙනිදාය. මේ අනුව කොළඹ සති අන්ත ‛ජාතික පත්තර’ මානව හිමිකම් දිනය සමරා ලිපි හා සේයා රූ පළ කොට, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පසසා කතුවැකි ලිවූහ.

දෙසැම්බර් 07 වෙනිදා ජාතිය අමතා කතාකළ ජනාධිපති රාජපක්‍ෂ ‛ඔබ සිටිය යුත්තේ ත්‍රස්තවාදය සමගද, පොදු මහජනයා සමගද යන්න ඔබ තීරණය කරන්න. මෙම දෙපිල නිශ්චිතව තෝරා බේරාගන්න. කිසිවෙකුට එකවර මේ දෙපිල නියෝජනය කළ නොහැකියැ’’යි කීවේය. ‛ත්‍රස්තවාදයට එරෙහි තමන්ගේ ගෝලීය සංග්‍රාමය’ ආරම්භ කරමින් 2001 සැප්තැම්බර් 20 වෙනිදා සෙනේට් සභාවේ ඒකාබද්ධ සැසිවාරය සහ ඇමරිකානු ජනතාව අමතා ජනාධිපති බුෂ් මෙසේ කීවේය: ‛‛එක්කෝ ඔබ අපි සමගය. නැතහොත් ත්‍රස්තවාදීන් සමගය. ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේදී නිර්පාක්‍ෂික නිශ්ක්‍රීයතාවට ඉඩක් ඇත්තේ නැත.’’

Sunday, December 10, 2006

නොදන්නාකම දේශප්‍රේමය වු කළ


මව්බිම | 2006 දෙසැම්බර් 10
.......................................................................................................................................
ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සංග්‍රාමය ඉදිරියට ගෙනයමින් ඇමරිකානු හමුදා ඉරාකයට ඇතුළු වූයේ 2003 මාර්තු 20 වෙනිදාය. මැයි 02 වෙනිදා USS ඒබ්‍රහම් ලින්කන් නාවුක යාත්‍රාවට විශේෂ ජෙට් යානාවකින් ගොඩබට ජනාධිපති බුෂ් ඇමරිකානු සේනාංක අමතා සිය සුප්‍රකට 'Mission Accomplished' දේශනය මගින් ඉරාකයේ අවසාන ජය ප්‍රීති ඝෝෂා මැද වාර්තා කර සිටියේය.

මේ 2006 දෙසැම්බරයයි. ආක්‍රමණය දැන් එළඹෙමින් සිටින්නේ එහි සිව් වන වර්ෂ පූර්ණය කරාය. කරුණු එසේව තිබියදී ‛ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය යුද්ධයේ’ සමාරම්භකයෙකු වූ ඇමරිකානු ආරක්‍ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ඉකුත් නොවැම්බර් 08 වෙනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඊට දින දෙකකට පෙර ඔහු විසින් නිකුත් කළ අභ්‍යන්තර උපදෙස් පත්‍රිකාවක් දෙසැම්බර් 03 වෙනිදා නිව්යෝක් ටෛම්ස් පත්‍රය විසින් හෙළිදරව් කළේය. එහි මෙසේ සඳහන්ය:

‛‛ඉරාකය තුළ පවතින තත්ත්වය පරිණාමය වෙමින් පවතින අතර මේ කාලය තුළදී ක්‍රියාන්විත මෙහෙයුම්වල සිට ත්‍රස්ත මර්දන හා කැරළි මර්දන යුද ක්‍රියාවන්ටත්, ඝාතක කල්ලි සහ නිකායන් අතර ප්‍රචණ්ඩ ක්‍රියාවන් සම්බන්‍ධයෙන් කටයුතු කිරීමටත් එක්සත් ජනපද හමුදාවන් හැඩගැසිණ. මගේ ආකල්පය අනුව දැන් ප්‍රබල වෙනස්කිරීම් සඳහා කාලය එළඹ තිබේ. පැහැදිලි වශයෙන්ම වර්තමානයේදී එක්සත් ජනපද හමුදා ඉරාකයේ කරමින් සිටින කිසිවක් නිසි පරිදි ක්‍රියා නොකරයි.’’

Sunday, November 26, 2006

සුළුතරයෙන් එකෙකුගේ නික්ම යාම


මව්බිම | 2006 නොවැම්බර් 26
.......................................................................................................................................
 
දය කුමාර රණතුංග සහෝදරයා ගැන මේ සටහනෙහි ලියන ලද්දේ දෙසතියකට කලිනි. මහර බන්‍ධනාගාරයේදී ඝාතනය කළ රණතුංගගේ මළගම දා කඩවත සූරිගමට රැස්වූ රණේ දැන සිටි බොහෝ දෙනා ඔහු ගැන විවෘතව යමක් කියන්නට බිය වූහ. රණේ මුහුණදුන් බිහිසුණු මරණය විසින් ඇති කළ බිය ඊට හේතු වූවා විය හැක. නොඑසේ නම් රණේ සිරගත වන්නට බල පෑ කාරණය ඊට හේතු වූවා විය හැක. කවරක් වුවද අවමංගල සභාව අමතන්නට ඉදිරිපත් වන්නැයි කෙරුණු ඉල්ලීම් බොහෝවුන් මගහැර ගියහ. රණේ දැන සිටි බහුතරයක් දෙනාගේ මගහැර යාම් මැද්දේත් නැගී සිට  ‛රණේ අපරාධකරුවෙක් නොවේ, ඔහු අනාගත වීරයෙක්’ බව කියන්නට හයිය තිබුණේ එක මිනිසෙකුටය. නිවැරදි දේ සඳහා සුළුතරයෙන් එකෙක් වීමේ ආඩම්බරය උපට උගන්වා දුන් ඒ මිනිසා මේ මළවුන්ගේ මාසයේදී අප හැර ගියේය.
  
ඒ අජිත් සමරනායක සහෝදරයාය.
  
අසූව දශකය ලංකාවේ අවසාන විචාරශීලී දශකයයි. ඒ විචාරශීලීත්වය පණ පෙවූවන් අතර අජිත් ප්‍රමුඛයෙකු විය. දේශපාලනික සහ සමාජ විවරණයන්ද, සාහිත්‍ය කලා සහ සෞන්දර්‍ය විචාරවේදයන්ද ඔස්සේ ඔහු සැපයූ දායකත්වය දීප්තිමත් එකකි. විශේෂයෙන්ම ‛දි අයිලන්ඩ්’ පුවත්පතෙහි ස්වර්ණමය යුගය නිර්මාණය කරන ලද්දේ විජිත යාපා සහ අජිත් සමරනායක වැන්නන් විසිනි. ජාතිකවාදය එවකට සංවාදවල බලවත් සංඝටකයක් වූ බව සැක නැත. නමුත් මිනී මාංශ භක්‍ෂණයෙන් තොර බුද්ධිමය අඩංගුවක් එහි තිබිණ. ජාතික චින්තන විවාදයන්ද, විකල්ප සමාජ මාදිලීන් පිළිබඳ මත ගැටුම්ද, දේශපාලන සහ සංස්කෘතික සැකසුම් පිළිබඳ සංවාදයන්ද ඒවායේ ඵලයන්ය. අජිත් එකී සමාජ සංවාදයන් තුළ ප්‍රබල සළකුණකි.


Sunday, November 19, 2006

අලුත් මළවුන් සහ පැරණි මළවුන්


මව්බිම | 2006 නොවැම්බර් 19
.......................................................................................................................................

සිය ජනයාගේ සාගිනි වේදනාවන් සහ දුක් ගැහැට පිළිබඳ තමන්ට ආවේණික සිංහල බසින් නොවැම්බර් 10 වෙනිදා උදෑසන අන්තිම වරටත් කරුණු කියා පෑ නඩරාජා රවිරාජ් ඉන් පැයක් ඇතුළත කොළඹ ජනාකීර්ණ වීදියකදී වෙඩිතබා ඝාතනය කෙරිණ. 1989 රාජ්‍ය ධවල භීෂණය විසින් බිලිගත් දකුණේ කැරළිකාර පරම්පරාවක් සමරමින් ඇලවුණු පෝස්ටර් ගහණ වීදි ඔස්සේ 13 වෙනිදා මධ්‍යහ්නයේ රවිරාජ්ගේ දේහය රැගත් අවමඟුල් පෙරහැර ගමන් ගත්තේය. අනෙකාගේ බසින් තම දුක් ගැහැට පහදා කියන්නට උත්සාහ කළ ඒ නිරායුධ කුළුපග මිනිසා 14 වෙනිදා උදයෙන්ම හාමතින් සහ යුදබියෙන් පීඩිත තම ජනයා වෙතට පෙරළා නික්ම ගියේය. 

සමානත්වය සහ යුක්තිගරුකභාවය ඉල්ලා සිටි දකුණේ අතීත මළවුන් සහ ඝාතනය වූ රවිරාජ් අතර කෙස්ගසක වෙනසකි. ඒ වෙනස සළකුණුව තිබුණේ රවිරාජ්ගේ දෙමළකමෙනි.
  
රවිරාජ්ගේ මරණය, පසුකොට ආ අතීතය ගැන ස්මරණයන් අවදි කරවයි. මරණය සහ භීෂණය ගැන ඒ ස්මරණයන් දශකයකින් පසුවද අප හඹා එන සෙයකි. රවිරාජ් මුහුණදුන් ආකාරයේ මරණයන් අපගේ දෛනික ජීවන යථාර්ථයක් බවට පත්ව තිබූ කාලයක් තිබිණ. යුක්තිගරුකභාවය ඉල්ලා සම්මුති විරහිතව කතාකළවුන් මං මාවත්වලදී මරා දැමුණි. විකෘතිව පිළිස්සුණු මළ සිරුරු උඩින් පැන දැන් ඉතිහාසය දහහත් වසරක් ඉදිරියට ගමන් කොට තිබේ. කාලය, මතකයන් පිසදා හරින ප්‍රචණ්ඩ කුණාටුවකි. රවිරාජ්ගේ මරණය බොහෝ අය තුළ අතීත මතකයන් අවුළුවාලනු නොලබන්නේ එබැවිනි. 


Sunday, November 12, 2006

නොවැම්බර් මතකයන්


මව්බිම | 2006 නොවැම්බර් 12
.......................................................................................................................................

දය කුමාර රණතුංග මගේ මිතුරෙකි. බොරලැස්ගමුවේ වැව පාරේ පැරණි පැඟිරි මෝලක පවත්වාගෙන ගිය ‛ලක්මිණ’ පත්තර කන්තෝරුවේදී රණේ මට හඳුන්වා දුන්නේ චන්‍ද්‍රකුමාර වික්‍රමරත්න විසිනි. ඒ 1990 මැද භාගයේදීය. එතැන් සිට නව මාසයක් ගෙවී ගිය 1991 මැයි 31 වෙනිදායින් පසු චන්‍ද්‍රකුමාර අතුරුදහන් විය. නමුත් ඒ අවුරුද්දේ අග භාගයේදී රණේ මට නැවත හමුවිය.
  
ඒ මේ වැනි නොවැම්බරයකදීය.
  
බොරැල්ලේ සුපර් මාර්කට් ගොඩනැගිල්ල පාමුල පත්තර තට්ටුව ඉදිරිපිට ඒ නොවැම්බරයේ උදයක රණේ මට නැවත හමුවිය. එදා සිට අපි එක්ව ‛ලක්දිව’ පත්තරයේ වැඩ කළෙමු. 1992 ජනවාරියේ 26 වැනිදා පළමු ‛ලක්දිව’ කලාපය ප්‍රකාශයට පත්වන විට රණේ එහි ප්‍රධාන පිටු සැළසුම් ශිල්පියා වශයෙන් වැඩ ආරම්භ කළේය. කොයි මොහොතක හෝ තමන් සොයා එතැයි සිතූ මරණය අපේක්‍ෂා කළ රණේ සෝදිසි නෙතින් ඔබ මොබ ගියේය. තැන තැන රැය ගත කළේය. ජනතා විමුක්ති පෙරමුණේ පරාජය වූ දෙවෙනි නැගිටීමේ පරාජය නොවූ සිහින සහ අපේක්‍ෂා රණේ තුළ නිධන් වී තිබුණි. ඝාතනය වූ සගයෙකුගේ නිවසක මව් පියන් හෝ අඹු දරුවන් හමු වී ගතකළ ඇතැම් රැයකින් පසු රණේ ගැඹුරු ශෝකාකූල හදින් කතා කළේය. ඒ සෑම අයෙකුගේම ජීවන වේදනාවන්ගේ කුරුසිය රණේ කර තබාගෙන ඇවිද්දේය. ඔවුන් වෙනුවෙන් කළ හැකි යමක් නැතිදැයි වේදනාවෙන් විමසීය. වැඩ අතර විරාමයක් ලද ඇසිල්ලේ ‛ලක්දිව’ ඇතුළත කාමරයේ යකඩ කොටු දැලින් පිටත අහස දෙස බලා සිටින රණේගේ සංවේගජනක රුව දැන් අතීත මතකයකි.


Sunday, November 5, 2006

හාමත් අර්ධද්වීපය


මව්බිම | 2006 නොවැම්බර් 05
.......................................................................................................................................

යාපනයේ සාගතයකි. අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟකමින්ද, මිල අධිකකමින්ද හාමත පැතිර යමින් ඇති බවට දෙමළ පුවත්පත් දෛනික වාර්තා පළකරමින් තිබේ. විදුලි සැපයුම සීමා කිරීම යාපනයේ ශික්‍ෂණ රෝහලට පවා බල පා ඇති අතර ඉන්‍ධන නොමැතිකමින් ගමනා ගමනය සීමා වීම සිසුන්ගේ පාසල් පැමිණීම හීන කොට ඇත. අත්‍යාවශ්‍ය ඖෂධ හා ළදරු කිරිපිටි ඇතුළු ආහාර හිඟය බිහිසුණු ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි ඇතැමුන් අනතුරු හඟවා තිබිණ. දැනටමත් වසංගත රෝ බිය පැතිර යන්නට පටන්ගෙන තිබේ.
  
ඒ මිනිස් ඛේදවාචකය දකුණට නොවැදගත් පුවතකි.
  
නොකා නොබී පවා යාපන අර්ධ ද්වීපය තුළ හමුදාවන් තනිකොට අතහැර යාමට මැලිවන දෙමළ ජනයාට අපගේ ප්‍රණාමය හිමිවිය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා රූපවාහිනී සාකච්ඡාවක දී කීවේය. ඒ බිහිසුණු විහිළුව දෙමළ ජනයාට නොඇසේ. පවුල් 30,000කට වැඩි ප්‍රමාණයක් කලින් සිය දරු මුණුබුරන් සමග නිදහස්ව දිවි ගෙවූ භූමි භාගයක ඒ හමුදාවන් වාඩි ලා සිටියි. ඊට අයත් ග්‍රාමසේවක වසම් සංඛ්‍යාව 67කි. හමුදා අධි ආරක්‍ෂක කලාපයට ඇඳා ගනු ලැබ ඇති කලින් සරුව වගාකොට අස්වැද්දූ වගා බිම් අක්කර 12,259කි. වෙරළ තීරයෙන් ඊට ඈඳාගනු ලැබ ඇති භූමි ප්‍රමාණය කිලෝ මීටර් 81කි. අර්ධ ද්වීපය තුළ ඒ හේතුවෙන් උන්හිටි තැන් අහිමිව දිවිගෙවන පවුල් සංඛ්‍යාව 24,537කි. වාඩි ලා සිටින 40,000කට ආසන්න හමුදාවන්ගේ ආරක්‍ෂාව පතා වසා දමා ඇති පාසල් සංඛ්‍යාව 47කි. දැන් සාගතයෙන් හා රෝ බියෙන් පෙළෙන්නේ ගේ - දොර හා කුඹුරු බිම්ද, ජීවන මාර්ගයන්ද ඉකුත් දශකයක් තිස්සේ පැහැරගනු ලැබ ඇති මේ මිනිස් සමූහයයි. ඒ මිනිස් වේදනාවන් දකුණට නොවැදගත් පුවතකි.


Sunday, October 29, 2006

පූරාණ රෝමය සහ නූතන ලංකාව


මව්බිම | 2006 ඔක්තෝබර් 29
.......................................................................................................................................

1840න් ඇරඹි දශකයේ අවසන් භාගය වන විටත් මාක්ස් කල්පනා කරන ලද්දේ ඉංග්‍රීසි කම්කරු පන්තිය විසින් අයර්ලන්ත ජනයාගේ නිදහස සාක්‍ෂ්‍යාත් කර දෙනු ඇති බවය. විශේෂයෙන්ම ඉංග්‍රීසි කම්කරු පන්තිය මත පදනම්ව ගොඩනැගුණු චාටිස්ට් ව්‍යාපාරයේ විප්ලවීය විභවය පිළිබඳ සුබවාදීව බලාපොරොත්තු තැබූ ඔහු එංගලන්තයේ සමාජ විප්ලවය අයර්ලන්ත ජාතික නිදහසේ යතුර වනු ඇතැයි විශ්වාස කළේය. නමුත් එතැන් සිට විසි අවුරුද්දක් ඇතුළත මාක්ස් සිය ස්ථාවරය අංශක 180කින් කරකවනු ලැබුවේය. යුරෝපය පුරා නැග ආ විප්ලවීය වඩදිය 1840 දශකයේ අවසානයත් සමඟ බැස යාමත්, එංගලන්තය තුළම පවා චාටිස්ට් ව්‍යාපාරයේ පරාජයත් සිය ස්ථාවරයන් පිළිබඳ ගැඹුරින් කල්පනා කරන්නට ඔහුට බලකළ විෂයමූල වර්ධනයන් විය. 1869 දෙසැම්බරයේදී පළමු ජාත්‍යන්තරයේ මහා සභා වාරයට තමන් අයර්ලන්තය පිළිබඳ ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන නව යෝජනාව පිළිබඳ එංගල්ස්ට හෙළිදරව් කරමින් මාක්ස් මෙසේ ලියා යැවීය:

‛‛ලබන අඟහරුවාදා මා ප්‍රශ්නය ඉදිරිපත් කරන ආකාරය මෙයයි: අයර්ලන්තයට ‛ජාත්‍යන්තරවාදය’ සහ ‛මානුෂික’ වූ සාධාරණත්වය සම්බන්‍ධයෙන් වූ වගන්ති වෙනුවට අයර්ලන්තය සමග තමන්ගේ වර්තමාන සම්බන්‍ධයෙන් ගැළවී යාම ඉංග්‍රීසි කම්කරු පන්තියේ සෘජු සහ පැහැදිලි යහපත සඳහාම වන්නේය. ඉංග්‍රීසි කම්කරු පන්තියේ බලපෑම් මගින් අයර්ලන්තයේ පාලන තන්ත්‍රය පෙරළා දැමීම කළ හැක්කක් වශයෙන් මම බොහෝ කාලයක් තිස්සේ විශ්වාස කළෙමි. නිව්යෝක් ඩේලි ට්‍රිබියුන් පත්‍රයෙහි මෙම අදහස මම නිරන්තරයෙන් ඉදිරිපත් කළෙමි. ගැඹුරු හැදෑරීම විසින් මට ප්‍රත්‍යක්‍ෂ කර ඇත්තේ එහිම ප්‍රතිලෝමයයි. අයර්ලන්තයෙන් ගැළවෙන තුරු ඉංග්‍රී සි කම්කරු පන්තිය කිසිවක්ම අත් කරගනු නැත. ලීවරය අයර්ලන්තයට ආදේශ විය යුතුය.’’


Sunday, October 8, 2006

අතුරුදහන් වීමේ නිදහස


මව්බිම | 2006 ඔක්තෝබර් 08
.......................................................................................................................................

සැප්තැම්බර් 21 වෙනිදා ජාත්‍යන්තර සාම දිනය නිමිත්තෙන් ලිප්ටන් වටරවුමට රැස්ව සිටි ජනයා අතර දහසය වසරකට පෙර අතුරුදහන් වූ සිය දරුවන්ගේ සේයා රූ රැගත් මව්වරු විඩාපත් මුහුණින් කැකෑරෙන අව් රැස් යට සිටගෙන සිටියහ. ඔවුන් අත වූ කළු සුදු සේයාරූවල සිටි තරුණ රූ දැන් කිසිවෙකු තුළ සාමූහික කම්පනයන් අවදි නොකරයි. ඔවුන්ගේ තරුණ දෑස් යුක්තිය හෝ නිදහස පිළිබඳ දකුණේ මිනිස් ආවේගයන් තවදුරටත් අවුළුවනු නොලබයි. ඔවුන් කාගේ කවුදැයි කිසිවෙක් නොදනී. දහසය වසක් ඇවෑමෙන් මිනිසුන් දෙතුන් දෙනෙකුගේ පෞද්ගලික ජීවන වේදනාවන් බවට දැන් ඔවුන් පෙරළී තිබේ.

1992 පෙබරවාරියේදී නව නගර ශාලාවට මව්වරුන්ගේ පෙරමුණ රැස්වීමක් කැඳවා තිබිණ. හැඬුම් - වැළපුම් පිරුණු සිය ගණන් මව්පියන් අතර සිටි මහනුවර හතරළියැද්දේ සිට ආ පියෙක් දරු සොවින් විසඥව ඇද වැටී මිය ගියේය. ඒ මහා සෙනඟ මැදට ආ නන්දා මාලනි ‛ලේ කිරි කර දුන් - අපගේ දරුවන් - බිලිගත් මරුවන්  - කවුරුද විමසන්’ යැයි ගී ගැයුවාය. වේදනාවෙන් පීඩිත ගම්බදින් ආ මව්වරුන් අතර ඇවිද ගිය රිචඩ් ද සොයිසාගේ මව - වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු - ඔවුන් තුරුළු කොටගෙන සැනසුවාය. එයින් දශකයක් ඇවෑමෙන් සිහිමද ගතියකින් මැකාති රෝහලේ ඔත්පලව අසරණව හිඳ මියගිය ඇගේ සිරුර කිසිවෙකුගේ විශේෂ බුහුමනට පාත්‍ර නොවී බොරැල්ලේ බානි රේමන්ඩ් මල් ශාලාවේ තැන්පත් කොට තිබිණ. රිචඩ් ඝාතනයේ විත්තිකරුවන් සියළු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කරන ලද්දේ එයින් පසුවය.


Sunday, October 1, 2006

අධිරාජ්‍යවාදීන්ගේ 'ත්‍රස්ත විරෝධය' හා අධිරාජ්‍ය විරෝධීන්ගේ 'ත්‍රස්තවාදය'


මව්බිම | 2006 ඔක්තෝබර් 01
.......................................................................................................................................

ත්‍රස්ත විරෝධය සහ අධිරාජ්‍ය විරෝධය පිළිබඳ සිත්ගන්නා සුළු කතාවක් බීබීසීයේ චන්දන කීර්ති සහෝදරයා පසුගිය දාක කතාබහක යෙදී සිටියදී කීය. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ වෙනිසියුලානු ජනාධිපතිවරයා කළ කතා සංසන්දනය කරමින් ඔහු කී අදහස මෙබඳුය: ‛‛මහින්ද රාජපක්‍ෂ ත්‍රස්ත විරෝධී වෙන්න තීරණය කළාම හිටගන්නේ අධිරාජ්‍යවාදී ඇමරිකාව එක්ක. නැතිනම් ඊශ්‍රායෙලයත් එක්ක. හියුගෝ චාවේස් අධිරාජ්‍ය විරෝධී වෙන්න තීරණය කළාම හිටගන්නේ ‛ත්‍රස්තවාදී’ ඉරානයත් එක්ක. නැතිනම් හිස්බුල්ලා හෝ හමාස් එක්ක.’’ එහි ඇත්තේ සරළ තර්කයකි. එනම් අපේ යුගයේ අධිරාජ්‍ය විරෝධය සහ ත්‍රස්ත විරෝධය එකට නොපෑහීමේ යථාර්ථයයි. නමුත් විග්‍රහ කරගත යුතු තරමේ ගැඹුරක් එහි තිබේ.

ත්‍රස්තය සහ ප්‍රචණ්ඩත්වය අතර වෙනස සළකුණු කළ හැකි මූලධර්මයක් තිබේ දැයි ඇසීම මේ කාලයේදී ත්‍රස්තවාදයකි. මේ වනවිට පිළිගැනීමට බල කෙරෙන ප්‍රමිතීන් අනුව සියළු ප්‍රචණ්ඩත්වයන් ත්‍රස්තයකි. එසේ නොවන්නේ ‛නීත්‍යානුකූල ප්‍රචණ්ඩත්වයන්’ පමණි. නීත්‍යානුකූල ප්‍රචණ්ඩත්වය යනු රජයන්ගේ පරමාධිකාරයයි. එනම් තමන්ගේ යටත් වැසියන් ප්‍රචණ්ඩ බලය මගින් අවනත කොට තබාගැනීමේ අයිතියයි. ඒ අනුව සිය පාලිතයින් ප්‍රචණ්ඩත්වය මගින් පාලනය කිරීමේ අනුල්ලංඝනීය අයිතිය නීත්‍යානුකූල රාජ්‍යයන්ගේ පිළිගත් බලාධිකාරයේ කොටසකි. පාලකයින් සහ පාලිතයින් අතර බැලූ බැල්මට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනෙන පාලනය කිරීමේ සහ පාලනය වීමේ සම්මුතිය සැළකිය යුතු දුරකට පදනම් වන්නේ මේ පිළිගැනීම මතය. ඒ අනුව නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන ප්‍රචණ්ඩත්වය පිළිබඳ පිළිගත් අර්ථකථනය ඉහළ සිට පහළට ගලන්නකි. මීට ඉතිහාස රටාවක් තිබේ.


Sunday, September 24, 2006

ස්වෛරීභාවය පිළිබඳ පැරණි රසාංග


මව්බිම | 2006 සැප්තැම්බර් 24
.......................................................................................................................................

සැප්තැම්බර් 13 වෙනිදා පදනම් ආයතනයට කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා ‛නොකා නොබී මැරුණත්’ රටේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරන බවට ශපථ කොට සිටියේය. 19 අවුරුද්දකට පෙර දෙමළ ජනයාගේ ස්වෛරීභාවය ආරක්‍ෂා කරනු වස් නොකා නොබී නිරාහාරව මිය ගිය රාසයියා පාර්තීපන් හෙවත් තිලීපන් සිය මාරාන්තික උපවාසය යාපනයේ නල්ලූර් කන්දසාමී කෝවිල අභියස දී ආරම්භ කරන ලද්දේද 1987 සැප්තැම්බර් 12 වෙනිදාවකය. තිලීපන්ගේ ක්‍රියාව සහ වීරවංශගේ කතාව එකම මාසයක ආසන්න දින දෙකක සිදුවීම මුළුමණින්ම අහඹුවක් බවට සැක නැත. නමුත් දකුණේ දවසින් දවස වැඩිවන බඩගිනි හමුදාවන් ලවා ස්වෛරීභාවයවත් ආරක්‍ෂා කරගැනීමට සැළසුම් නොකළහොත් ඒ බඩගිනි හමුදාවන් මැඩලන්නට උතුරේ හමුදාවන් ආපසු කැඳවීමට සිදුවීමේ අනතුර ජවිපෙ නායකයින්ටද ඉව වැටී ඇති සෙයකි.

කෙසේ වුවද ස්වෛරීභාවය පිළිබඳ ජවිපෙ මාරාන්තික ස්ථාවරය 13 වෙනිදාවේම ප්‍රකාශයට පත් කිරීම හදිසි අවශ්‍යතාවක් බවට පත්වන්නේ ටෝකියෝ ආධාර සමුළුවේ සම සභාපතිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනය සැප්තැම්බර් 12 වෙනිදා බ්‍රසල්ස් නගරයේදී ප්‍රකාශයට පත්වීම බව නිසැකය. නිවේදනයේ සාරය සරළව සළකා බලතොත් එහි අඩංගු වන්නේ සටන් විරාමයකට නොඑළඹුණහොත් ලංකාවට අපේක්‍ෂිත ආධාර නවතාලීමක් පවා සිදුවීමේ තර්ජනයක් ඇති බවයි. සම සභාපති රටවල භූමිකාව හා ස්වෛරීභාවය පිළිබඳ ජවිපෙ කල්පනා කරන ආකාරය අතර සම්බන්‍ධය ගැන කදිම සාකච්ඡාවකට මෙමගින් දොරටු විවර වෙයි. එහෙයින් අපි ඒ ගැන කතා කරමු.


Sunday, September 17, 2006

සාම්පූර් ජය සහ මැක්කාගේ සංග්‍රාමය!


මව්බිම | 2006 සැප්තැම්බර් 17
.......................................................................................................................................

රොබට් ටේබර් ඇමරිකානුවෙකි. ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු වශයෙන් මධ්‍යම ඇමරිකාවේත්, උතුරු අප්‍රිකාවේත්, කැරීබියානු කලාපයේත් විප්ලව අරගල වාර්තාකරණයෙහි යෙදුණ ටේබර් කියුබානු විප්ලව සමයේ ෆිදෙල් සමඟ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව සියෙරා මයේස්ත්‍රාවේදී සිදුකළ වාර්තාකරුවා වශයෙන් ඉතිහාසයට එක්විණ. ඒ ෆිදෙලිස්තා හමුදාව යාන්තම් සිය දෙනෙකු ඉක්මවා පැතිරෙමින් සිටි කාලයේදීය. ඉන් කලකට පසු ජයග්‍රාහී කියුබානු විප්ලවය පෙරළා දැමීමට ඇමරිකානු මැදිහත්වීමෙන් දියත් වූ ‛බේ ඔෆ් පිග්ස්’ ආක්‍රමණයේදී ටේබර්, මාධ්‍ය වෘත්තිය පසෙක ලා කියුබානු විප්ලවය ආරක්‍ෂා කරනු වස්  කියුබානුවන් සමඟ එක්ව සටන් කොට තුවාල ලැබුවේය.

1969දී ටේබර් වැදගත් කෘතියක් ලීවේය. එහි පළමු මුද්‍රණයේ පිටපත් සියල්ලම පාහේ එක්සත් ජනපද ආරක්‍ෂක ආයතනවල ප්‍රයෝජනය සඳහා මිලට ගන්නා ලදී. එහි පසුකාලීන මුද්‍රණයන්ද මිලිටරි චින්තකයින්ගේ සහ ආයතනවල නොමද අවධානයට පාත්‍ර විය. War of the Flee (මැක්කාගේ සංග්‍රාමය) නමින් ලියැවුණු ටේබර්ගේ කෘතිය ගරිල්ලා යුද්ධයේ න්‍යාය සහ ව්‍යවහාරය පිළිබඳ ලියැවුණු අතිශය සංවිධිත අධ්‍යයනයකි. චීනයේත්, කියුබාවේත්, වියට්නාමයේත්, ඇල්ජීරියාවේත්, අයර්ලන්තයේත්, ඊශ්‍රායෙලයේත්, මොරොක්කෝවේත්, සයිප්‍රසයේත්, පිලිපීනයේත්, මලයාවේ සහ ග්‍රීසියේත් සමාන්තර ගරිල්ලා අත්දැකීම් පිළිබඳ කදිම විශ්ලේෂණයක් ඉදිරිපත් කළ ටේබර්ගේ කෘතිය යුද විද්‍යාවේ පසුකාලීන වර්ධනයන් සමඟ බොහෝවුන්ගේ මතකයෙන් බැහැරව ගියේය. නමුත් දශක තුනකින් පසු ටේබර්ගේ අවතාරය යළිත් මිලිටරි චින්තකයින් අතර සැරිසැරීමට පටන්ගෙන තිබේ. ඒ, ලෝකයේ අනභියෝගී යුද බලවතා වශයෙන් සැළකෙන එක්සත් ජනපදයේ සුපිරි හමුදාවන් ඇෆ්ඝනිස්ථානයේදී සහ ඉරාකයේදී ‛මැක්කන්ගේ සංග්‍රාමයට’ කොටුවීමත් සමගය.


Sunday, September 10, 2006

සකළ දේශවාසී නිර්ධනයනි, සිංහ කොඩිය ඔසවව්!


මව්බිම | 2006 සැප්තැම්බර් 10
.......................................................................................................................................

සාම්පූර්වලදී කලාක් මෙන් වැඩි කල් නොගොසින්ම කිලිනොච්චියේත් ‛සිංහල කොඩිය’ ඔසවන බව ‛සරෝජා’ හැදූ සෝමරත්න දිසානායක සැප්තැම්බර් 05 වෙනිදා මානෙල් මල් ව්‍යාපාරයේ නුගේගොඩ රැස්වීම් වේදිකාවේදී කීවේය. පසුව කතාකළ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ විසින් සෝමරත්න දිසානායකගේ කතාවේදී සුළු වැරැද්දක් සිදු වූ බව කියමින් ‛සිංහල කොඩියෙ’හි ‛ල’යන්න ඉල්ලා අස්කර ගත්තේය. ඒ හේතුවෙන් දෙමළ ජනයාට සිදුවන්නට ගිය මහත් වූ අසාධාරණයක් වැළකී ගියේය. ඒ අනුව කිලිනොච්චියේ දී ඔසවන්නේ ‛සිංහ කොඩිය’ යනුවෙන් එය නිවැරදි විය යුතුය.

එදිනම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්‍ධ සමස්ත ලංකා දුම්රිය පොදු සේවක සංගමයේ 10 වෙනි වාර්ෂික සමුළුව මරදානේ දුම්රිය සංගම් ශාලාවේදී පැවැත්වුණි. ‛බෙදුම්වාදී සතුරු බල මුළු පරදවමු - දුම්රිය සේවක අයිතීන් දිනාගනිමු’ එහි තේමාවයි. දුම්රිය සේවක අයිතීන් උදුරාගෙන ඇත්තේ බෙදුම්වාදී සතුරු බලමුළු බව සටන් පාඨයෙන් පැහැදිලිය. ඒ අනුව සාම්පූර්හී ළෙල දෙන සිංහ කොඩිය දුම්රිය කම්කරුවන්ගේ අයිතීන් යම් තාක් දුරකට දිනාගැනීමක් වශයෙන් සැළකිය හැකිය. මක් නිසාද යත් එමගින් ‛බෙදුම්වාදී සතුරු බලමුළු’ තරමකට හෝ පරාජය වී ඇති හෙයිනි.


Sunday, September 3, 2006

පොළොවේ ප්‍රශ්න ගුවනේදී විසඳීම


මව්බිම | 2006 සැප්තැම්බර් 03
.......................................................................................................................................

රොබට් තොම්ප්සන් ‛ත්‍රස්ත විරෝධී යුද ක්‍රියා’ පිළිබඳ යුද න්‍යායේ බ්‍රිතාන්‍ය විශේෂඥයෙකි. ජෙනරාල් ජෙරල්ඩ් ටෙම්ප්ලර්ගේ නායකත්වයෙන් ‛50 දශකයේ මලයානු කොමියුනිස්ට් ගරිල්ලන් සහමුලින් පරාජය කිරීමේ මෙහෙයුම්වලට තොම්ප්සන් ක්‍රියාකාරීව දායක විය. 1961දී වියට්නාම් යුද්ධය පැතිර යාමේ ලකුණු පළවන්නට පටන් ගත් විට බ්‍රිතාන්‍ය අගමැති මැක්මිලන් විසින් යුද උපදේශනය සඳහා පත්කළ බ්‍රිතාන්‍ය උපදේශන දූත කණ්ඩායමේ (BRIAM) ප්‍රධානියා වශයෙන් තොම්ප්සන් පත්කරන ලදී. ඒ වියට් කොං වරුන්ට එරෙහි එක්සත් ජනපද හමුදාවන්ට ඔහු වැන්නෙකුගේ විශේෂඥ ඥාණය අත්‍යාවශ්‍ය වනු ඇතැයි ගණන් බැලීමෙනි. වියට්නාමයේදී අත්විඳීමට නියමිත එක්සත් ජනපද පරාජය ඔහු පෙර දැක්කේය. දැවැන්ත ගුවන් ප්‍රහාර මගින් වියට්නාම් ගම් බිම් අතු ගා දැමීමේ ගුවන් මෙහෙයුම් ගැන ඔහු විරෝධය පෑවේය. ‛‛යුද්ධය දිනිය  යුත්තේ මොළයේ සහ පාබල ශක්තියෙනි’යි ඔහු ජනාධිපති කෙනඩිට අනතුරු හැඟවීය. නමුත් ඇමරිකාව විශ්වාසය තැබුවේ තමන් සතු සුපිරි ගුවන් හැකියාව කෙරෙහි මිස තොම්ප්සන්ගේ යුද ඥාණය කෙරෙහි නොවේ. 'Better  dead than red'  යැයි කල්පනා කළ ඇමරිකානු යුද ප්‍රතිපත්ති සැළසුම්කරුවන් වියට්නාමය ගුවන් ප්‍රහාර මගින් වනසා දැමුවේය.

තොම්ප්සන් 1965දී බ්‍රිතාන්‍ය උපදේශන දූත කණ්ඩායමෙන් ඉවත් විය. 1969 වන විට එක්සත් ජනපද ආක්‍රමණික සේනාංකවල අපකීර්තිමත් පරාජයේ ඉතිහාසය වියට්නාමයේ සටන්කාමී ගම්බද ගරිල්ලන් විසින් ලිවීම ආරම්භ කර තිබිණ. වසර කිහිපයක් ඇතුළත දකුණු වියට්නාමය කාමියුනිස්ට් ගරිල්ලන් අතට පත්කරමින් සයිගොන් ඇද වැටිණ.


Sunday, August 20, 2006

‛ගෞරවනීය සාමය’: කාගේ ගෞරවයද?


මව්බිම | 2006 අගෝස්තු 20
.......................................................................................................................................

‛ගෞරවනීය සාමය’ බොහෝවුන්ගේ සිත්ගත් වදනකි. එය කාගේත් ආදරය දිනූ උද්‍යෝග පාඨයක් බවට පත් වී තිබේ. දෙමළ ජනයාට ඇති ප්‍රශ්නය කුමක්දැයි අසන්නෝද, ඇත්තේ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් පමණක් යැයි කියන්නෝද, යුද්ධයෙන් තොර විසඳුම් මාර්ගයක් නැතැයි අදහන්නෝද ‛ගෞරවනීය සාමය’ අදහති. දිවි හිමියෙන් ඒකීය රාජ්‍ය රකින්නෝද එයම වහරති. මෙය සිංහල බෞද්ධයින්ගේ රට යැයි සිතන්නෝද එයම පසසති. එය කොයි දක්‍ෂිණාංශිකයාටත් රිංගා ගත හැකි හොඳ ප්‍රොපගැන්ඩා බංකරයකි. එහි හරය කුමක්දැයි කිසිවෙක් නොඅසයි. ඇත්තෙන්ම නම් එවැනි හරයක් තිබීම කිසිවෙකුට අත්‍යාවශ්‍යද නොවේ. ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ අංක එකේ විවේචකයා වන චොම්ස්කිට අනුව මේ වනාහී ‛හොඳ ප්‍රොපගැන්ඩාවල’ ලක්‍ෂණයයි. ඔහු තැනක මෙසේ ලියයි: ‛‛ඔබට අවශ්‍ය වන්නේ කිසිවෙකු විරුද්ධ නොවන සටන් පාඨයක් නිර්මාණය කිරීමයි. එයින් අදහස් වන්නේ කුමක්දැයි කිසිවෙක් නොදනී. ඊට හේතුව ඇත්ත වශයෙන්ම එය කිසිත් අදහස් නොකරන නිසායි. එහි ඇති තීරණාත්මක වටිනාකම වන්නේ වැදගත් ප්‍රශ්න කෙරෙන් ඔබේ අවධානය වෙනතකට යොමු කිරීමට එම පාඨය සතු සමත්කමයි.’’  (Media Control: The Spectacular Achievements of Propagnda)

‛ගෞරවනීය සාමය’ එවැනි වර්ගයේ යෙදුමකි. එය මහින්ද චින්තනයේ ලියැවිලිවල සාඩම්බර ලෙස වැජඹේ. නමුත් එම යෙදුමේ දේශපාලන උපත මහින්ද චින්තනයට සම්බන්‍ධයක් නැත. ඇත්ත වශයෙන්ම නම් එය මෑතකාලීනව උපන්නේ 1992න් පසු කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ ලිපි ලේඛණ හා නිවේදන තුළිනි. ජාතික ප්‍රශ්නයට ඇති විසඳුම පිළිබඳ ජවිපෙ සිතන්නේ කුමක්දැයි ඇසූ විට ‛අප පෙනී සිටින්නේ ගෞරවනීය සාමයක් සඳහා’යැයි එවක සිට ජවිපෙ කියයි. 1992 රහසිගත පක්‍ෂ සාමාජිකයින්ට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විසින් එවන ලද මැයි දින යෝජනාවන්ගේ සිට 1994 මැද භාගයේදී ෆැක්ස් මගින් ඔහු හා කළ පළමු පුවත්පත් සාකච්ඡාව දක්වාත්, 1994 ජාතිය ගළවාගැනීමේ පෙරමුණේ මැතිවරණ වේදිකාවල සිට මහින්ද චින්තනය දිනවීමේ රූපවාහිනී සාකච්ඡා දක්වාත් මේ යෙදුම ජවිපෙ හොඳ හැටි තොරොම්බල් කොට තිබේ. නමුත් එය කිසිදු සංයුක්ත අදහසක් පළ නොකරයි.


Sunday, August 13, 2006

මාවිල්ආරු සහ කඩදාසි දුටුගැමුණුවාදය


මව්බිම | 2006 අගෝස්තු 13
.......................................................................................................................................

කුණු අපි‍්‍රකානුවන්ට එරෙහි ටෙස්ට් ජයග‍්‍රහණයත්, කොටින්ට එරෙහි මාවිල් ආරු විජයග‍්‍රහණයත් එකම දිනවල දකුණේ ජන ජීවිතය නිවා සනහා තිබේ. ෆවුසි ඇමතිවරයාගේ සිට දේශපාලකයෝ බොහෝමයක් දෙනා සරවනමුත්තු කී‍්‍රඩා බිමත්, ති‍්‍රකුණාමලයේ සංග‍්‍රාම බිමත් අතර යුහුසුළුව දුව පැන ඇවිදිමින් ‘ජයග‍්‍රහණයන්ට’ අවශ්‍ය දේශපාලන නායකත්වය සැපයූහ. සෑම පැයකටම මිනිත්තු පහක් යුද තොරතුරුද, මිනිත්තු පනස් පහක් කී‍්‍රඩා තොරතුරුද රසවිඳ දිවි ගෙවීම අපේ රටවල රජයන ප‍්‍රමෝදජනක ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ලක්‍ෂණයකි. ඒ අනුව දැන් ලංකාව මුහුණ දීගත් අභියෝගයන් දෙවැදෑරුම්ය. එක් අතකින් ලෝක කුසලාන තරඟාවලියකි. අනෙක් අතින් හතරවැනි ඊළාම් යුද්ධයකි. එක් ජයග‍්‍රහණයක් මුත්තයියා මුරලීදරන් මත රඳා පවතී. තව ජයග‍්‍රහණයක් විනායගමූර්ති මුරලීදරන් මත රඳා පවතී.

නමුත් සරළ ආවේගයන් යටින් සැඟවුණු ලේ වැකි යථාර්ථයන් කිසිවෙකුත් නොදකී. මාවිල්ආරු අර්බුදය පිළිබඳ කොළඹ උද්වේගකර පුවත් සිරස්තල විසින් වඩා බිහිසුණු මිනිස් ඛේදයන් යටගසනු ලබයි. ඒ ඛේදයන්ගේ ඉතිහාසය මාවිල්ආරු අර්බුදයේ ඉතිහාසයට වඩා පැරණි එකකි. ඒ අර්ථයෙන් බැලූ විට මාවිල්ආරු මුල්කොටගෙන ඇදී යන යුද්ධය කලින්ම ලියා තබන ලද්දකි. එය එක්කෝ මීට වසර විස්සකට පෙර පුපුරා යාමටද ඉඩ තිබිණ. නැතහොත් එය වසර විස්සකින් පසු පුපුරා යාමටද ඉඩ තිබිණ. නිදහසින් පසු ලංකාවේ පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහ ලබමින් දියත් වූ නැගෙනහිර පළාතේ සිංහල ජනපදකරණ කි‍්‍රයාවලිය ගැන ඇත්ත කතාව එතරම් විරෝධාර පුරාවෘතයක් නොවේ. එය දුගී සිංහල ජනයා - දිළිඳු දෙමළ ගොවි ජනයාට එරෙහි අත් මුගුරක් ලෙස යොදා ගනිමින් අනාගත යුද්ධයක ගොදුරු බවට පත්කළා වූ බල සැලැස්මකි.


Sunday, August 6, 2006

බුදුරැස් ඕනෑකර තිබේ


මව්බිම | 2006 අගෝස්තු 06
.......................................................................................................................................

ප්‍රොපගැන්ඩා (propaganda)  යන වචනය බිඳී ආවේ ලතින් භාෂාවේ propagare යන වචනයෙනි. ලතින් බසින් propagare යනු උද්‍යානකරුවෙකු විසින් පැලයකින් දළුලන නව රිකිලි බිඳ අලූත් පැලෑටි වශයෙන් වෙනම පොළොවේ ඉන්දවීමයි. නමුත් ඒ වචනය අද භාවිතා වන සමාජ විද්‍යාත්මක අර්ථයෙන් මුලින් යොදාගත්තේ රෝමානු කතෝලික පල්ලියයි. සැළකිය යුතු කලකට පෙර Techniques of Persuasion කෘතිය ලියූ බි‍්‍රතාන්‍ය මනෝ ප‍්‍රතිකාරක ආයතනයේ ආචාර්ය ජේම්ස් බ‍්‍රවුන් propaganda සහ පල්ලිය අතර සම්බන්‍ධය ගැන සාකච්ඡා කරමින් මෙසේ ලියයි:

‘‘රෝමානු කතෝලික පල්ලිය විසින් propagare යන වචනය සමාජ විද්‍යාත්මක අර්ථයෙන් යොදාගැනීමේදී එහි එක් අදහසක් වූයේ මේ ආකාරයෙන් පතුරුවන ලද අදහස් වූ කලී වපුරන ලද හෝ කෘතිමව ජනනය කරන ලද ඒවා බවයි.’’ - (Techniques of Persuasion: From Propaganda to Brainwashing)


Sunday, July 30, 2006

මහනෙල් මල් සහ එරබදු මල්


මව්බිම | 2006 ජූලි 30
.......................................................................................................................................

හනෙල් මල් ව්‍යාපාරය විසින් දියත් කරන ලද මහනෙල් මල් සතිය දැන් නිමාවට පත්ව තිබේ. ඒ රාජ්‍ය හමුදාවන්ගේ සාමාජිකයින්ව සිට යුදබිමේදී මියගිය සොල්දාදුවන්ගේ පවුල් සඳහා වූ සුබසාධන වැඩසටහනක කොටසක් වශයෙනි. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම්වරයාද, දන්ත වෛද්‍ය ගුණදාස අමරසේකරද ප‍්‍රමුඛ සරසවි ඇදුරන් සහ කලාකරුවන් පෙරටු කොටගත් දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය මහනෙල් මල් සතිය සංවිධානය කිරීමේ වගකීමට උර දී තිබිණ. හමුදා සුබ සාධනය ඉලක්ක කොටගත් පොපි මල් ව්‍යාපාරයක් වාර්ෂිකව සංවිධානය කෙරෙන අතරතුරදී මහනෙල් මල් ව්‍යාපාරයක් අවශ්‍ය වූයේ ඇයි? ඒ පොපි මල් ව්‍යාපාරයට මේ නිශ්චිත මොහොතට අදාළව උපයෝගී කොට ගත හැකි දේශපාලන න්‍යාය පත‍්‍රයක් නොමැති බැවිනි.

දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණේ පෙරමුණු සංවිධානයකි. එහි ලේකම්වරයා ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ප‍්‍රචාරක ලේකම්ධූරයේ වගකීම උසුළන්නෙකි. හමුදා බි‍්‍රගේඩියර්වරයෙකුට මානෙල් මල් ස්ටිකරය පළඳවනවුන් අතර හෙතෙම සිනහමුසු මුහුණින් සිටින සේයාරුවක් පුවත්පත්වල පළවී තිබිණ. හරියටම මෙයින් මසකට පෙර ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය සංවිධානය වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ශිෂ්‍ය වීර දිනයේ ප‍්‍රධාන දේශකයා වශයෙන් සහභාගී වූයේද ඔහුය. එහිදී එළිදුටු කෘතියක මුල් පිටපත දශක එක හමාරකට පෙර රාජ්‍ය හමුදා අත්අඩංගුවේදී ඝාතනය කෙරුණු ජවිපෙ කි‍්‍රයාකාරී ශිෂ්‍ය නායකයෙකු වූ එස්.එම්.නිෂ්මිගේ පියා වෙත සියතින් පිරිනමන සේයාරුවකද ඔහු සිනහමුසු මුහුණින් සිටිනු පුවත්පත්වල පළවිය.


Sunday, July 23, 2006

‘කරුණා’ සින්ඞ්රෝමය හා තවත් කතා



මව්බිම | 2006 ජූලි 23
.......................................................................................................................................
රුණා අම්මාන් ප‍්‍රමුඛ නැගෙනහිර කොටින්ගේ මුදාගත් ප‍්‍රදේශහා රහස් කඳවුරුදැන් කොළඹ ජනමාධ්‍යකරුවන්ට ඒකාකාරීත්වයෙන් මිදී  සති අන්ත  විනෝදයෙන් ගෙවා දැමිය හැකි ඇඞ්වෙන්චර් පාර්ක්ස්සහ ෆන් අයිලන්ඞ්ස්බවට පත්ව තිබේ. නම් හෙළි නොකළස්ථානයකදී කරුණා අම්මාන් හමුවී කරන සම්මුඛ සාකච්ඡා දකුණේ මාධ්‍ය ස්වයං වින්දනයේ උපරිම අනුරාගී නිමිත්තයි! ලංකාවේ දෙමළ ජනයාට ඇති ප‍්‍රශ්නය කුමක්දැයි අසමින් සිටියවුන් හිටි හැටියේ නැගෙනහිර දෙමළ ජනයාට ඇති සුවිශේෂී ප‍්‍රශ්න පිළිබඳ විශේෂඥයින් බවට පත්ව ඇත්තේ ඒ යටතේය. දශක හයක් තිස්සේ ලංකාවේ ධනපති පාලන තන්ත‍්‍රයන්ට විසඳාගත නොහැකිවූ ජාතික සමානතාව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ගැටළුවට විසඳුම් මාර්ගයක්විනායගමූර්ති මුරලීදරන් හෙවත් කරුණා අම්මාන්ගේ පිහිටෙන් හමුවී තිබේ. ඒ අනුව දැන් සිංහල ඒකීයවාදයේ වැඩවසම් සේනාවන්ගේ පෙරමුණේ ලෙළදෙන අලූත් රණකාමී ධජයකි: මෙවර එය හමුවී ඇත්තේ මඩකළපුවට උතුරින් කිරාන්හී දෙමළ මුක්කුවාර් කුලයේ දුගී පවුලකිනි.  

නමුත් කරුණා කණ්ඩායමහරහා දියත් කෙරෙන අත්හදා බැලීම අලූත් එකක් නොවේ. එය ලංකාව තුළ මෙන්ම මහාද්වීපිකවද කැරළි මර්දන යුද කි‍්‍රයා (counter insurgency warfare) සම්බන්‍ධයෙන් නැවත නැවතත් යොදාගන්නා ලද පැරැුණි වට්ටෝරුවකින් සකසා ගන්නා ලද එකකි. ඒ නිසාම සවිස්තරාත්මකව විමසා බැලීමට තරම් වටනේය.

Sunday, July 16, 2006

ණය පියවාගැනීමේ රැඩිකල් ක‍්‍රමය


මව්බිම | 2006 ජූලි 16
.......................................................................................................................................
නතා විමුක්ති පෙරමුණ ණය හරියාකාරව පියවාගන්නා පක්‍ෂයක්බව ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ ප‍්‍රකාශ කළේ ඉකුත් සතියේ පැවැති පක්‍ෂයේ විශේෂ සමුළුවකදීය. ඒ වනාහී කොටි සංවිධානය තමන්ට ප‍්‍රහාර එල්ල කළහොත් ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමකි. නගර සභා පිටිය ඔල්වරසන් හඬින් ඇළලී ගියේය. ඒ සන්‍ධ්‍යාවේදීම රත්නපුර දිස්ති‍්‍රක් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුසන්ත පුංචිනිලමේ රජයට එකතුවිය. ඒ අනුව ජවිපෙ පූර්ණකාලීන කි‍්‍රයාධරයින්ව සිටියදී පැහැරගෙන ගොස් වධ බන්‍ධනයන්ට ලක්කොට පරාළ ඇණ ගසා මරා දමන ලද වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි තී‍්‍රමා විතාරණ සහෝදරයාගේ ණය දැන් පියවාගෙන තිබේ!

අපේ වැනි රටවල ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රවාහයට ආදර්ශමත් ලෙස අනුකලනය වීමයනු සමූල ඝාතනයන් පිළිබඳ සාමූහික හෘදය සාක්‍ෂිය පිසදා හැරීමට දක්වන සමත්කමයි. අනතුරුව නව සංහාරයන්ගේ කොටස්කරුවන් වීම පහසුය. අතරමැද පන්තියේ රැඩිකල් දේශපාලනයේ ඉරණම හැමවිටම මෙබඳුය. කැරළිකාරී සම්මුති විරහිතභාවය හැමවිටම අතීත කාලයට අයත් එකකි. දශකයක් තුළ දිගහැරුණු මෙකී ජවනිකා මාලාවන් හුදෙක් දූපතක යථාර්ථයක් නොවේ. ආසියා - අපි‍්‍රකා හා ලතින් ඇමරිකානු ත්‍රෛ මහාද්වීපික කලාපයන් සිසාරා ‘70 සහ ‘80 දශකවල නැඟී ආ විප්ලවකාරී රළ වේගයන් මාධ්‍යමික සහ දක්‍ෂිණාංශික සාගර ගැඹුරේ සන්සුන්ව ගිළී යමින් පවතී. එය විමසීමට තරම් වටිනා කරුණකි.