Sunday, August 14, 2005

කදිරගාමර් සහ පොන්නම්බලම්: ඝාතන දෙකක් - ප්‍රතිචාර දෙකක්


හිරු | 2005 අගෝස්තු 14
.......................................................................................................................................

කොළඹ 07 බුලර්ස් පටුමගේ සිය පෞද්ගලික නිවසේදී දුර සිට වෙඩි තබන ඉලක්කකරුවෙකුගේ ගොදුරක් බවට විදේශ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් පත්වූයේ 12 වෙනිදා මධ්‍යම රාති‍්‍රයේදීය. දේශපාලන ලෝකය තුළ පළමුව වික්‍ෂිප්තභාවයත්, දෙවනුව කම්පනයත්, තෙවනුව ශෝකය සහ කෝපයත් ප‍්‍රකාශයට පත්වීම ආරම්භ වූයේ අනතුරුවය. අගනුවරදී ස්නයිෆර් වෙඩික්කරුවෙකුගේ ගොදුරක් බවට පත් පළමු රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රභූවරයා වූයේ කදිරගාමර් ඇමතිවරයාය. ඝාතනයේ වගකීම පළමු පැය විසි හතර තුළදීම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙත පැවරුණු අතර ඊළඟ පැය විසි හතර තුළදී විමුක්ති කොටි සංවිධානය එහි වගකීම භාරගැනීම නිල වශයෙන් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබිණ. දැන් පරීක්‍ෂණ ආරම්භව ඇතැයි වාර්තා වන අතර අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවලින් විශාල දෙමළ වැසියන් සංඛ්‍යාවක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ලිපිය කදිරගාමර් ඝාතනය කේන්‍ද්‍රකරගත් ජනපි‍්‍රය සාකච්ඡාවක් ඇරඹීමේ අපේක්‍ෂාවෙන් ලියැවෙන්නක් නොවේ. මෙහි අරමුණ කදිරගාමර් ඝාතනයට දකුණේ සිංහල ජන සමාජය ප‍්‍රතිකි‍්‍රයා දක්වන ලද ආකාරයේ සාමූහික මනෝ විද්‍යාව විමසීමයි. එය ජනපි‍්‍රය නැති සාකච්ඡාවකි. ජනප‍්‍රිය වේ යැයි සිතීමට වුවද ඉඩක් නැති සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව සඳහා වැදගත් වේ යැයි කල්පනා කරන ලියුම්කරුගේ ප‍්‍රශ්නය මෙසේ සංක්‍ෂිප්තව ගොණු කළ හැක: