Sunday, August 14, 2005

කදිරගාමර් සහ පොන්නම්බලම්: ඝාතන දෙකක් - ප්‍රතිචාර දෙකක්


හිරු | 2005 අගෝස්තු 14
.......................................................................................................................................

කොළඹ 07 බුලර්ස් පටුමගේ සිය පෞද්ගලික නිවසේදී දුර සිට වෙඩි තබන ඉලක්කකරුවෙකුගේ ගොදුරක් බවට විදේශ ඇමති ලක්‍ෂ්මන් කදිරගාමර් පත්වූයේ 12 වෙනිදා මධ්‍යම රාති‍්‍රයේදීය. දේශපාලන ලෝකය තුළ පළමුව වික්‍ෂිප්තභාවයත්, දෙවනුව කම්පනයත්, තෙවනුව ශෝකය සහ කෝපයත් ප‍්‍රකාශයට පත්වීම ආරම්භ වූයේ අනතුරුවය. අගනුවරදී ස්නයිෆර් වෙඩික්කරුවෙකුගේ ගොදුරක් බවට පත් පළමු රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රභූවරයා වූයේ කදිරගාමර් ඇමතිවරයාය. ඝාතනයේ වගකීම පළමු පැය විසි හතර තුළදීම දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය වෙත පැවරුණු අතර ඊළඟ පැය විසි හතර තුළදී විමුක්ති කොටි සංවිධානය එහි වගකීම භාරගැනීම නිල වශයෙන් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබිණ. දැන් පරීක්‍ෂණ ආරම්භව ඇතැයි වාර්තා වන අතර අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවලින් විශාල දෙමළ වැසියන් සංඛ්‍යාවක් මේ වනවිටත් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ලිපිය කදිරගාමර් ඝාතනය කේන්‍ද්‍රකරගත් ජනපි‍්‍රය සාකච්ඡාවක් ඇරඹීමේ අපේක්‍ෂාවෙන් ලියැවෙන්නක් නොවේ. මෙහි අරමුණ කදිරගාමර් ඝාතනයට දකුණේ සිංහල ජන සමාජය ප‍්‍රතිකි‍්‍රයා දක්වන ලද ආකාරයේ සාමූහික මනෝ විද්‍යාව විමසීමයි. එය ජනපි‍්‍රය නැති සාකච්ඡාවකි. ජනප‍්‍රිය වේ යැයි සිතීමට වුවද ඉඩක් නැති සාකච්ඡාවකි. ඒ සාකච්ඡාව සඳහා වැදගත් වේ යැයි කල්පනා කරන ලියුම්කරුගේ ප‍්‍රශ්නය මෙසේ සංක්‍ෂිප්තව ගොණු කළ හැක:

Wednesday, June 8, 2005

ඉර මැදියම : පීඩිතභාවයේ සමීප රූප සහ දුර රූප


දිනමිණ | 2005 ජූනි
.......................................................................................................................................

ප‍්‍රසන්න විතානගේගේ ‘ඉර මැදියම’ පිළිබඳ මහවැලි කේන්‍ද්‍රයේ මුළුදුන් සංවාද සභාව කමිස කොළර්වලින් අල්ලාගැනීමෙන් පසු තේ පානය කොට විසිර ගියේය. ‘කලා විචාරය පුනස්ථාපනය කිරීම’ සඳහා වූ ජැක්සන් ඇන්තනීගේ යෝජනාවලියකින් ආරම්භ වූ කතාබහ ‘ලංකාවේ කලාකරුවෙකුව ඉපදීමේ කරුමය’ පිළිබඳව ජැක්සන්ගේම මැසිවිලි හා සාප කිරීම්වලින් අවසාන විය. ‘සැවෝයි’ සිනමා ශාලාවේ සීමිත පේ‍්‍රක්‍ෂක සමූහයක් සමඟ දෙවරක් නැරඹු  ‘ඉර මැදියම’ පිළිබඳ දෙවැනි සිතීමක් කරා පසුබිම සකස් කරන ලද්දේ මේ සන්දර්භය විසිනි.

කලාව, අනුහස් සහිත රැස් වළල්ලකින් වෙළා පවත්වාගෙන යාමේ මෝඩ කෞතුක ප‍්‍රයත්නයන් ලංකාවේ තවදුරටත් අත් නොහැර පවතී. ‘උතුම් කලාව’ හා ‘පූජනීය කලාකරුවන්’ පිළිබඳ පාරභෞතික සෑහෙන උවමනාවකින් නඩත්තු කිරීම සිදු කෙරෙන්නේ මේ යටතේය. ප‍්‍රභා මණ්ඩලයක් සහිත කලාවක් පිළිබඳ ඇදහිලිවලට එරෙහිව තමන්ගේම නිර්මාණයන්ගේ රැුස් වළලූ තමන් විසින්ම නිර්දය ලෙස බිඳලීම අරමුණු කොටගත් කැරැළිකාරී භාවිතාවන් සහිත කලා සංස්කෘතික ප‍්‍රවණතා ලොව නැගී ආයේ සියවසකටත් කලිනි. ඒ ග‍්‍රාම්‍ය ජනතාවාදයක රූපකායෙන් නොවේ. නිදසුනක් වශයෙන්, බර්ලින් කවයේ මූලිකයෙකු වූ රිචඞ් හූල්සෙන්බෙක් වරෙක ‘ජර්මානු බොල්ෂෙවික්වාදය’ වශයෙන් හැඳින්වූ ඩාඩාවාදය වැන්නක් විසින් කරන ලද්දේ කලාව, එය ඇසුරු කරන්නාගේ සංජානන මාදිලිය (mode of reception) රැඩිකල් ලෙස වෙනස් කිරීමයි. එය සවිඥාණික දේශපාලන කාර්යයකි. එමගින් කලාවේ රැස් වළල්ලේ අනුහසින් කලාවඇසුරු කරන්නා නිදහස් කරයි. කෘතිය හා ග‍්‍රාහකයා අතර සන්දර්භය ආගමික තැනින් දේශපාලන තැනකට විතැන් කරයි. චිත‍්‍ර ශිල්පියෙකු හා බර්ලින් කවයේම ප‍්‍රමුඛයෙකු වූ ජෝර්ජ් ග්‍රෝස්, කලාවේ හා දේශපාලනයේ සම්බන්‍ධතාවය ගැන මෙසේ ලීවේය: ‘‘දේශපාලන අරගලයෙන් වියෝ කරන ලද කලාව අරුත් රහිතය යන විශ්වාසයට මම එළඹුණෙමි. මගේ කලාව මගේ රයිෆලයයි.’’